Spread the love

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතු කරගනිමින් මෙරට රත්‍රං මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

රත්‍රං මිල තවදුරටත් පහළ බසිමින් අද (09) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 145,000ක් ලෙස සටහන්වූ අතර එය පැවති මිලට සාපේක්ෂව රුපියල් 40,000ක පමණ අඩුවීමකි.

එසේම කැරට් 22 රන් පවුමක් රුපියල් 125,000ක් – 135,000ත් අතර මිලක් දක්වා පහත බැස තිබුණි.

රත්‍රං මිල පහළ බැසීම සම්බන්ධයෙන් හෙට්ටිවීදියේ රන් අලෙවිකරුවන් පවසන්නේ,

“රන් මිල පහළ ගියත් බිස්නස් අඩුයි. තවත් ඉදිරියට අඩුවීමක් සිදුවෙයි. මිනිස්සු බලාගෙන ඉන්නේ තවත් අඩුවෙයි කියලා. එතකොට බිස්නස් තියෙයි.”

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළේ,

“මේක ඩොලරයේ පහළ යෑමත් රත්‍රං වෙළෙඳපොළට පැමිණීමත් නිසා සිදුවූ දෙයක්. රත්‍රං වැඩි වශයෙන් භාවිතයට ගන්න ඩුබායි, කටාර්, සිංගප්පූරුව, ඉන්දියාව, කොරියාව වැනි රටවල රත්‍රං මිල සමග මෙරට රත්‍රං මිල අපි සංසන්දනය කරලා බැලුවා. ඒ අනුව ලෝක රන් මිලට සමගාමී මට්ටමකට මෙරට රන් මිල පැමිණිලා තිබෙනවා.”

මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේ රුපියල් 307ක් දක්වා තවදුරටත් පහළ බැස ඇති අතර එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 325.52ක් ලෙසය.