Spread the love


නිමල් රාජපක්ෂ-

ග්‍රාම සේවා වසම්වල ඇති මූලික ප්‍රශ්න හඳුනා ගෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නොත් රට සංවර්ධනය කරා යන ගමන සාර්ථක වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල පැවසුවේය.
ජනසභා ක්‍රමය මේ සඳහා ඉතා වැදගත් ක්‍රමයක් වෙනවා. ගමේ අවශ්‍යතාවය ප්‍රමුඛතා ගත කරන්නේ ගමේ ඉන්න අයමයි. ඒ නිසා මෙරට ජනසභා පළමු වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොරගොල්ල දකුණ ග්‍රාම සේවා වසම තෝරා ගෙන ඇති බව පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළකලේ ජාතික ජනසභා නියමු ව්‍යාෘතියේ ගම්පහ දිස්ත්‍රික් පළමු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් අද (23) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය.

ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පාලිත ලිහිණි කුමාර, ජනසභා ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වන ලදී.
ජනසභා ක්‍රමය නැවතත් ආරම්භ කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙන බවත් ජනසභා ක්‍රමයෙන් බලාපොරාත්තු වන්නේ ගම සංවර්ධනය කරා ගෙන යාමේදී එම සංවර්ධන යෝජනා ග්‍රාමීය මට්ටමේදී ම හඳුනාගෙන ප්‍රාදේශීය මට්ටමට ගෙනවිත් පසුව දිස්ත්‍රික් මට්ටමට ගෙන ජාතික මට්ටම කරා ගෙන ගොස් ඒවාට විසඳුම් ලබා දීම බවත් පාඬිකෝරාල මහතා සඳහන් කළේය.
මේ අවස්ථාවට එක්වූ ජාතික ජනසභා කාර්යාලයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්, පර්යේෂණ සහ සංවර්ධන) නීතිඥ අකලංක හෙට්ටිආරච්චි මහතා, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තුළින් තිරසාර සංවර්ධිත රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා දායක වීම, ජනසභා ක්‍රමය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ බව පැහැදිලි කළේය.

ග්‍රාමීය ජනාතාව පීඩාවට පත්වන හේතු 03ක් තියෙනවා . ප්‍රභූවාදය, දේශපාලන අධිකාරිය හා නිලධාරිවාදයයි. මේ තත්ත්වය වලක්වාලමින් සංවර්ධන ක්‍රියාදාමයට ග්‍රාමීය ජනතාව සක්‍රීයව දායක කර ගැනීම වෙනුවෙන් ජනසභා ක්‍රමය ස්ථාපිත කරන බවත් සෑම ග්‍රාම සේවා වසමක ම සිටින වයස අවුරුදු 16ට වැඩි සියලු දෙනාට මේ සඳහා සහභාගි විය හැකි බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක, ගම්පහ සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර යන මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.