Spread the love


නිමල් රාජපක්ෂ –

මේ වසර ඉකුත්වීමට ප්‍රථම මහවැලි ඔප්පු 13600ක් ලබාදීමේ පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවී හා වන සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
ඇමතිණිය එසේ පැවසුවේ ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග, වනජීවී හා වන සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේ දී ය.
මෙහිදී මහවැලි ජනපදිකයන් සඳහා ප්‍රදාන පත්‍ර (ඔප්පු) ලබාදීම පිළිබඳව ද සාකච්ඡා විය. ඒ අනුව වසර අවසන්වීමට පෙර ඔප්පු 13600ක් ලබාදීමට ද සැළසුම් කර ඇති බව ද සාකච්ඡාවේ දී අනාවරණය විය. මෙම ප්‍රදාන පත්‍ර ලබාදීම පිළිබඳව අමාත්‍යවරිය අවධානය යොමු කරමින්, එම ඔප්පු මේ වසර ඉකුත්වීමට ප්‍රථම මහවැලි ජනපදිකයින් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

2024 ලබන වසර දේශීය කෘෂි නිෂ්පාදන කර්මාන්තය පුළුල් කිරීමේ වසරක් ලෙස රජය නම් කර ඇති අතර, එම කටයුතු සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය රු.බි.84ක මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව, වාරිමාර්ග අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘති 18ක සංවර්ධන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයිද මෙහිදි වැඩි දුරටත් පැවසුවාය..