Spread the love


නිමල් රාජපක්ෂ-


.
රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී දී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ පැවැත්වුණ අවස්ථාවේදීය
ඒ අනුව මැයි මස 21 වනදා සිට මැයි මස 27 දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වන දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්,මැයි 23 වන දින සීල භාවනා පින්කම ( වෙසක් පොහෝ දින වැඩසටහන) ,මැයි 24 වන දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වන දින සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වන දින අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ මැයි 27 වන දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම, වෙසක් බැති ගී පහන් කූඩු ,වෙසක් තොරණ ,පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන් ලේ දන්දීමේ වැඩසටහන් ආදී විශේෂ වැඩසටහන්, සර්ව ආගමික අංග ඇතුළත් පෙරහර ආදී වැඩසටහන් රැසක් ද පැවැත්වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද සඳහන් කළේ ය.
පසුගිය වසරවල මෙන් සම්ප්‍රදායික ලෙස වෙසක් උලෙළ සැමරීම සතියකට පමණක් සීමා නොකර, එහි වත්පිළිවෙත් සහ ආගමික වැඩසටහන් වෙසක් උලෙළෙන් පසුවත් ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත්, එසේම සියලු ආගම්වල සහාය ඇතිව සහෝදරත්වය පෙරදැරි කරගෙන මෙවර වෙසක් උලෙළ සැමරීමට කටයුතු කරන බවත් සඳහන් කළේ ය.