Spread the love

මෙවර මහ කන්නය තුළ මෙරට වගා කළ කුඹුරු සියල්ලම මගින්ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් දිවයින පුරා වී වගාව ආශ්‍රිතව සිදු කරන ලද ගවේෂණ මගින් හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ඉතාමත් සාර්ථක වී අස්වැන්නක් ලබා ගත හැකි බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට අස්වැන්න නෙලමින් පවතින අතර පසුගිය මාස කිහිපය තුළ පැවැති වර්ෂාව සහිත කාලගුණය කුඹුරු වී වගාව සාර්ථක වීමට බෙහෙවින් බලපා ඇත.

දිවයිනේ කුඹුරු අක්කර ලක්ෂයක් පමණ වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානියට පත් වුවද එම කුඹුරු ද නැවතත් වගා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

මේ අතර වී වගාව ආශ්‍රිතව ගොයම් කහවීමේ රෝගයක් පැතිර යන බවට මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා පිළිබඳව විමර්ශනය සඳහා බතලගොඩ වී පර්යේෂණායතනය විසින් සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඊට හේතුව දිලීරයක් හෝ වෙනත් කෘමි හානියක් නිසා ඇති වූවක් නොව බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර නොයෙදීම නිසා පෝෂණ ඌණතාවක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවයි. පොලොන්නරුවේ කුඹුරු අක්කර කිහිපයක මෙම තත්ත්වය දක්නට තිබු අතර එම තත්ත්වය බණ්ඩි පොහොර යෙදීමෙන් පසුව යථා තත්ත්වයට පත් කර ගත හැකි විය.

කෙසේ වුවද පැවැති වර්ෂාව හෝ දැනට යම් යම් ප්‍රදේශවලින් සුළු වශයෙන් වාර්තාවන පළිබෝධ හානි මගින් සමස්ත වී අස්වැන්නට හානියක් සිදු නොවන අතර මෙවර මහ කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබෙන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.