Spread the love

.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පණිවිඩය මෙරට ආහාර නිෂ්පාදනයේ සියළු පාර්ශ්වකරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඵලදායීව සහ කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමට මාධ්‍යවේදීන්ට හැකිවන පරිදි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතා ගැටළු පිළිබඳව මාධ්‍යවේදීන් ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් සකස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Food and Agriculture Organization of the United Nations) ශ්‍රී ලංකා සහ මාලදියින නියෝජිත Vimlendra Sharan මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවතීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත අතර වූ මෙම හමු‌වේ දී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ තීරණාත්මක ගැටළු රැසක් සාකච්ඡා කළ අතර, ආහාර සුරක්ෂිතතාව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ BESPA ආහාර ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ මාර්තු මස මීට අදාල පළමු උපදේශණ වැඩමුළුව පැවැත්වීමට ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදියින නියෝජිත Vimlendra Sharan මහතා මෙහිදී යෝජනා කළේ ය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් උසස් තාක්ෂණයන් සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සමඟින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කිරීමට මෙරට ට සහාය දක්වනු ලබයි. එමෙන්ම ඵලදායිතාව සහ දිගුකාලීන පැවැත්ම ඉහළ නැංවීම සඳහා පාංශු කළමනාකරණය, ගුණාත්මක පොහොර භාවිතය සහ ඉතා සුදුසු කෘෂි විද්‍යාත්මක භාවිතයන් අවධාරණය කරමින් තිරසාර භාවිතයන් පිළිබඳව කුඩා වතු හිමියන් පුහුණු කිරීම ද සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ක්‍රියාකාරී කණ්ඩායම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ජල කළමනාකරණය, වන වගාව, හදිසි ප්‍රතිචාරය සහ වෙනත් ආශ්‍රිත විෂයයන් පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇති දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්ගෙන් සමන්විත වන අතර, එම සම්පත් දායකයින්ගේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහාත් එම කණ්ඩායම් මෙරටට යෝග්‍ය ආකාරයෙන් සකස්කල සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාත් උපරිම සන්නිවේදන දායකත්වය ලබා දීමට සුදුසු සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ BESPA ආහාර ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු Asumptha Jayaratnam, සන්නිවේදන සහ ප්‍රචාරණ විශේෂඥ Judy Thavaratheepan, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් සහ තොරතුරු) එන්.ඒ.කේ.එල් විජේනායක, අධ්‍යක්ෂ (සංවර්ධන) ඩබ්ලිව්.පී සෙව්වන්දි යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.