Spread the love

2022 වර්ෂයේ දී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ඩොලර් මිලියන 300ක වියදමින් ආනයනය කළත් 2023 වර්ෂයේ දී මෙරටට සහල් ඇටයක්වත් ආනයනය කිරීමට රටේ ගොවි ජනතාව ඉඩ නොතැබූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) බරවකුඹුක කච්චිගල්ආර ප්‍රදේශයේ අපනයනය සඳහා වන පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන ගම්මානයය සඳහා වන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු ආරම්භ කරමිනි. මෙරට නිෂ්පාදනය කරන කොහුබත් හා පොල් කොහු සඳහා විශාල ඉල්ලුමක් චීනයේ පවතී. මීට අමතරව ඩුබායිවලින් ද ඉහළ ඉල්ලුමක් පවතින නිසා මෙරට කොහුබත් හා පොල් කෙඳි නිෂ්පාදන කර්මාන්තය විදේශ විනිමය උත්පාදනය කරන කර්මාන්තයක් බවට පත්ව තිබේ.

මෙම අවස්ථාවට චීන නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ.මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

2023 වර්ෂයේ දී මේ රටේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා වැඩිම ඩොලර් ප්‍රමාණයක් රටට ඉතිරි කර දුන්නේ අපේ රටේ ගොවි ජනතාවයි. පසුගිය වර්ෂයේ වගා කටයුතු අසාර්ථක වුවා නම් අනිවාර්යෙන්ම සහල් ආනයනය කිරීමට සිදුවෙනවා. එහෙම වුනා නම් අඩු තරමින් ඩොලර් මිලියන 350ක් පමණ වැය කිරීමට රජයට සිදුවෙනවා.

නමුත් පසුගිය වසර පුරාම මේ රටේ ජනතාව පරිභෝජනය කළේ අපේ රටේම සහල්. 2023 වර්ෂයේ දී සහල් ඇටයක්වත් මෙරටට ආනයනය කළේ නැහැ.