Spread the love

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සහ සංවර්ධන කටයුතු සදහා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ පොලීසිය අත්‍යවශ්‍ය බවට මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන යන ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බව සඳහන් කළහ.

මිහින්තලා පූජා භූමියේ සිදුකරන සංවර්ධන කටයුතු සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය අඛණ්ඩව ලබාදිය යුතු බවත් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලීසියේ නිසි මැදිහත්වීම නිරන්තරයෙන් ලබාදිය යුතු බවයි අදාළ ලිපිය මඟින් දක්වා තිබෙන්නේ.

මෙම පූණ්‍ය භූමියේ සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමේ වගකීම ඉටු කිරීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු වගකිව යුතු අංශ ක්‍රියාත්මක විය යුතු බවත් සිය යුතුකම් සහ වගකීම් පිළිබද මනා අවබෝධයෙන් මිහින්තලා පුදබිමේ සුරක්ෂාව හා සංවර්ධන උදෙසා සියලු දෙනා කටයුතු කළ යුතු බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ

.