Spread the love

හංවැල්ල පාලම යට සිරවී තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් පමණ පමණ වටිනා ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබනු ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයකි. 

ජලය සමඟ ගසාගෙන පැමිණි එය උණ පඳුරු සහ කැලිකසල තුළ පැටලී, ප්‍රධාන යන්ත්‍රයෙන් ගැලවී ගොස් ඇති බවත්, එම GPS යන්ත්‍රය සොයාගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

එම ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් 2024 ජුනි මස 04 වන දින අළුයම කිමිදුම් සහය ලබාදීම සඳහා හංවැල්ල ප්‍රදේශයට යොමු කර තිබුණි.

ඒ අනුව පවත්නා අධික වාර්ෂාපතනය හමුවේ කැලණි ග‍ඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවදානම් තත්වය මත වුවද, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා දිය යට කැලි කසළ තුළ සිරවී තිබූ GPS යන්ත්‍රය සොයා ගැනීමෙන් අනතුරුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත මෙලෙස භාරදීමට කටයුතු කර තිබුණි.