Spread the love

මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සංවිධානාත්ම අපරාධකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය.

සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පහත පරිදි ආයුධ සොයාගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

T56 ගිනිඅවි 7ක්
පිස්තෝල 10ක්
රිවෝල්වර් 14ක්
බෙහෙත් කොටන තුවක්කු 461ක්
බෝර 12 ගිනිඅවි 58ක්
ගල්කටස් 13ක්
රිපීටර් 2ක් 

මේ මාස 2 ඇතුළත හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත් ඔහු පැවසීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට භාරදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.