Spread the love

මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට තීරණය කෙරේ.

දැනට මෙරට දොඩම් වගාව දිස්ත්‍රික්ක ගණනාවක සිදු කළද, විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින් නැමැති දොඩම් විශේෂය සඳහා මහජනතාවගේ විශාල ඉල්ලුමක් පවතී.
මෙම දොඩම් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යයි. ර පසුගිය වසරේ දොඩම් ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 496ක් වන අතර දොඩම් මෙට්‍රික් ටොන් 2407ක් ආනයනය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

නමුත් 2022 වසරට පෙර වසරවල දී ඊට වඩා විශාල දොඩම් ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේ. 2019 දී මෙරටට ආනයනය කරන ලද දොඩම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7773ක් වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 949කි. මේ අයුරින් 2020 හා 21 වර්ෂවල දී පිළිවෙළින් රුපියල් මිලියන 670ක් හා මිලියන 735න් බැගින් වැය කර ඇත.

මෙසේ ආනයනය කරන ලද දොඩම් අතිබහුතරය මැන්ඩරින් වර්ගයට අයත් දොඩම් වේ.

මැන්ඩරින් දොඩම් විශේෂය අප රටේ වගා කිරීම සඳහා සිදු කරන ලද පර්යේෂණ සාර්ථක වී තිබේ. ඒ අනුව මධ්‍යම කඳුකරයේ ඉහළින් පිහිටි කොටස්වල නොව බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල පහළින් පිහිටි ප්‍රදේශවල මැන්ඩරින් දොඩම් වගා කිරීමට උචිත දේශගුණයක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිහු අවධාරණය කළහ.