Spread the love


අයවැයෙන් මැතිවරණවලට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත්දැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේදී මැතිවරණ පැවැත්වීමට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි.
ගම්පහ, උඩුගම්පළ පැවැති දේශපාලන සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් අද (13) අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මැතිවරණය ද මිනිසුන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවන එකද වැදගත් වෙන්නේ කියල ජනතාව තීරණය කරන්න ඕන. මැතිවරණ කාලයේදි වගේම ජනතාව අදත් අපි සමග ඉන්නවා. මැතිවරණයකට ගියොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.
නමුත් මේ මොහොතේ මැතිවරණයකට ගියොත් මිනිසුන්ව තව අපහසුතාවයට පත්වෙනවා. ජීවන බර වැඩි වෙනවා. මුලින්ම රටේ නීතිය හා සාමය ස්ථාපිත වෙන්න ඕන. පසුගිය කාලයේ නැති වුනෙත් එයයි. මිනී මැරුවා, ගෙවල් ගිනි තිබ්බා, මිනිසුන්ට හිරිහැර කරා, පොලීසියේ අයගේ බෙල්ලෙන් අල්ලලා පාරට ඇදලා දැම්මා. රටේ නීතියක්, සාමයක් තිබ්බේ නැහැ. එදා නීති කඩ කරපු මිනිස්සු අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම විහිළුවක්. සාමය හා නීතිය ස්ථාපිත වුනාට පස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. මිනිස්සුන්ගෙ ජීවන බර නැති කරල ජනතා ප්‍රශ්න විසදන්න ඕන.
සංචාරකයින් එනකොට ආපහු පාරවල්වල උද්ඝෝෂණ කරනවා. විශ්ව විද්‍යාලවල ඉන්න දේශපාලන හෙංචයියන් පාරට බස්සලා ප්‍රශ්න ඇති කරනවා. එහෙම කරලා රටට එන සංචාරකයින් නැති කරන්න හදන එකට මිනිස්සු එකග නැහැ. විරෝධතාවලට එරෙහිව මිනිස්සු පෙළ ගැහෙන තත්ත්වයක් අද ඇතිවෙලා. දෙවැනියට තියෙන්න ඕනි ආර්ථිකය හදන එක. තෙවනුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕනි. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ඡන්දයට ගිහින් ඡන්දේ දාපු මිනිසුන්ගේ අත කපපු අයයි. ඡන්දය නිසා මිනිස්සු මරපු අයයි. නමුත් රාජ්‍ය වට්ටන්නේ නැතුව අපේ වගකීම ඉටු කරන්න සුදානම්.