Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නළු උද්දික ප්‍රේමරත්න මහතා පෙරේදා (17 දා) රාත්‍රී සිය මෝටර් රථයෙන් අනුරාධපුර පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ නාඳුනන වෙඩික්කරුවකු විසින් සිදු කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

මන්ත්‍රීට වෙඩි තබන මොහොතේ සීසීටීවීත් නැවතිලා – විමර්ශන සීඅයිඩීයට
වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගලවා ගත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ සහ අසල්වැසි නිවසක ආරක්ෂක කැමරා සවි කොට ඇතත් ඒවා කලක සිට අක්‍රීයව පැවතී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය අසලට පැමිණ ඇති වෙඩික්කරු ඊට මීටර් කීපයක් ආසන්නයේ සිට රථයට වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කොට ඇති බවත් ඉන් ජීව උණ්ඩ එකක් ඔහුගේ වාහනයේ නොවැදී බිම පතිත වී ඇති බවත් හෙළි වී තිබේ. අනිකුත් වෙඩි ප්‍රහාර දෙකම මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ පසුපස අසුන් සහ දකුණු පස ජනෙල් වීදුරුවට වැදී ඊට අලාභහානි සිදුවී තිබේ. ඉන් එක උණ්ඩයක් මෝටර් රථයේ දකුණු පස අසුනේ ජනෙල් වීදුරුව පසාරු කරගෙන වම්පස ජනෙල් වීදුරුවද පසාරු කර ගෙන ගොස් ඇති බව විමර්ශන සිදු කළ අනුරාධපුර පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල කිරීමත් සමග ඔහුගේ නිවසට මදක් දුරින් පිහිටි අතුරු මාර්ගයක් අසල නතර කොට තිබී වෙඩි ප්‍රහාරයෙන් පසු එකවරම පළාගිය බව කියන සුදු පැහැති මෝටර් රථයක් පිළිබඳව ද විමර්ශන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ඒ. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ මූලිකත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ද, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ අනුරාධපුර පොලිස් කොට්ඨාස ස්ථානීය පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානයේ බිම වැටී තිබියදී පෙරේදා රාත්‍රියේම හිස් පිස්තෝල උණ්ඩයක් සහ ජීව උණ්ඩයක් සොයාගෙන ඇත. මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

මන්ත්‍රීවරයා සිය සමීප මිතුරන් කීප දෙනකු සමග අනුරාධපුර ප්‍රදේශයේ නිවසකදී ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් මහා තරගය නරඹා පසුව ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදී සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ නිවසට මීටර් හැත්තෑ පහක් පමණ දුරින් වූ අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ නුවරවැව මාවත අංක 10 දරන ස්ථානයේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ රාත්‍රි 10.20 ත් 10.30 ත් අතර කාලයේදී වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇත.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයා ආරක්ෂකයකු හා රියැදුරකු නොමැතිව සිය මෝටර් රථය තනිව පදවාගෙන විත් පැමිණ ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අනුරාධපුර පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත්, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.