Spread the love

කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය පොලීසිය අද (16) කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී බස්රථ රියදුරු කොන්දොස්තර මහතුන්හට මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ජංගම දුරකථනයට ගැණුම්කරුවන් විශාල පිරිසකගෙන් ඇමතුම් ලැබුණු බව වේල්ලවීදිය පොලිසිය පවසයි.

එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් අනුව පොලීසිය විසින් අදාළ පුද්ගලයන්ව හඳුනාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් අදාළ මත්ද්‍රව්‍ය අලෙවිකරු සමග ගොස් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගත් බවය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින රියදුරුන් හා කොන්දොස්තරවරුන් දිනකට රුපියල් 1,200 සිට රුපියල් 2,400 දක්වා මුදල්වලට මෙම මත්ද්‍රව්‍ය රැගෙන පාවිච්චි කිරීමට පුරුදුවී සිටින බවද මෙහිදී හෙළිවී තිබේ.