Spread the love

මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇත.

ඉකුත් 18 වැනිදා සවස 05.30ට පමණ බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා ඩිංගි බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් ඇත.

ඒ මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙනි.

මසුන් මරමින් සිටින අතරතුර ඇති වූ වැසි සහිත කාලගුණය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇත.

බෝට්ටුව පදවා ගෙන ගිය අය විසින් මේ බව දුරකථන පණිවුඩයක් මඟින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම්දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගොස් ඇති තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවා ගෙන ගිය අය ව බේරා ගෙන ගොඩ බිමට ගෙනවිත් ඇත.

බෝට්ටුවේ සිටි සෙසු සිව්දෙනා අතුරුදන් වී ඇති බව පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා තිබේ.

අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇති ව මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර ඇති බව මාරවිල පොලීසිය කියයි.