Spread the love

පොලිස් අත්අඩංගුවෙන් පළායෑම සහ ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති සැකකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” කළුබෝවිල රෝහල වෙත රැගෙනවිත් තිබේ.

සැකකරුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පැවසීය.

ඉකුත් 20 වනදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරුව ඉදිරිපත් කිරීමේදී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට “බූරු මූණා” පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අද සැකකරුව මෙලෙස මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

විනාඩි 20කට පමණ ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබාගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබාගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇත.

ඉකුත් 17 වන දින සැකකරුව අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව හංවැල්ල දස වේල්ල දුරකථන කණුවක් යට සඟවා තිබූ C4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක ප්‍රමාණයක් සොයා ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු ත්‍රස්තවාදී සංවිධානයක් සමග සබඳතා පවත්වන්නේ ද යන්න සොයා බැලීම සඳහා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසර ලබාගත් බව පොලීසිය පැවසීය.

සැකකරු මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයක විශේෂ සිරමැදිරියක රඳවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.