Spread the love

පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, බැංකු සුදුසු අවස්ථාවලදී පරාටේ ප්‍රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.

එවන් පසුබිමක ඇපයට තැබූ හිඟුරක්ගොඩ, ගල්කන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙන්දේසි කර තමන් සතු කරගැනීමට රාජ්‍ය අනුබද්ධ බැංකුවක් කටයුතු කර තිබුණි.

ඉදිකිරීම් අඩක් නිමවූ මෙම හෝටලයේ ඔප්පුව එම බැංකුවේ ඇපයට තබා එහි හිමිකරු රුපියල් ලක්ෂ 80ක ණය මුදලක් ලබාගෙන තිබුණේ 2019 වසරේදීය.

කෙසේවෙතත්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් ණය මුදල ගෙවා අවසන් කිරීමට ඔහුට නොහැකි වීම නිසා බැංකුව එය වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බැංකුව හෝටලයට රුපියල් ලක්ෂ 140ක ලංසුවක් තැබූවත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා හෝටලය තමන් සතුකර ගත්තේය.

පරාටේ නීතිය මාස 10ක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර ඇති පසුබිමක මෙය සිදුකිරීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු පළකළේ දැඩි අප්‍රසාදයකි.