Spread the love

මාතර – නුවන්
බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය තුළින් බාලදක්ෂ දරුවන්ගේ ජීවිතයට අත්දැකීම් සමුදායක් එක් කරගැනීමට අවස්ථාවක් ලැබෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹමින් අරලිය ගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත වූ බාලදක්ෂයින් වෙත පළමු සේවා කාර්ඩ් පත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාල දක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය මේ මස 01 සිට 31 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 110,000 අධික බාල දක්ෂයන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන්වල නිරත වීමට අපේක්ෂා කෙරෙන බවද පැවසුවේය.

.
”තමන්ගේ ශ්‍රමය කැපකොට යම්කිසි වැඩ කටයුත්තකට සිය ශ්‍රමය ලබා දීමේ බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා ක්‍රියාවලිය ශත වර්ෂයකටත් වැඩි කලක් සිට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. පාසල් දරුවන් එයට එකතු වෙමින්, එය ඉදිරියට ගෙන යාමට සෑම වර්ෂයකම බාලදක්ෂ කඳවුර පවත්වනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් අත්දැකීම් සමුදායක් සිය ජීවිතයට එකතු කරගන්න දරුවන්ට අවස්ථාව ලැබෙනවා. එයට කැපවී සිටින බාලදක්ෂවරුන් හා බාලදක්ෂ බාලිකාවන් සියලු දෙනාටත්, බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යන කොමසාරිස්වරුන් ඇතුළු සියලු දෙනාටත් සුභ පතනවා” යැයිද ප්‍රකාශ කළේය.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ,2024 සේවා හා සම්බන්ධතා මාසය මේ මාසයේ 01 වැනිදා සිට ඇරඹෙනවා. බාලදක්ෂ දරුවන් ඔවුන්ගේ ශ්‍රමය භාවිතා කර ඔවුන්ගේ බාලදක්ෂ සමූහයටත්, දිස්ත්‍රික්කයටත් සංගමයටත් අවශ්‍ය කරන මුදල් වලින් කොටසක් උපයන්නයි මේ ව්‍යාපෘතිය කරන්නේ. එම නිසා දරුවන් ඔබේ නිවසට පැමිණි විට සහය ලබා දෙන්න යැයි පැවසුවේය.
මූලස්ථාන කොමසාරිස්, ආචාර්ය අනිල් පෙරේරා මහතා බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය වැඩසටහනේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර මේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මුහීඩ්, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය රජීව පීරිස් මහත්වරුන් ප්‍රමුඛ බාලදක්ෂ කොමසාරිස්වරුන් හා බාලදක්ෂයන් පිරිසක් එක්ව සිටියහ.