Spread the love

බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 65 ක් මත්දුව්‍ය වැරදි වලට සම්බන්ධ බවත්, බන්ධනාගාරගතව සිටින දරුවන්ගෙන් වැඩිපිරිසක් ද මත්දුව්‍ය වැරදි වලට සම්බන්ධ බව බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මෙම අදහස් පළ කරන ලද්දේ ගාල්ල නාගොඩ රාජකීය ජාතික පාසලේ පැවැති “නොයා යුතු තැන” වැඩසටහන හා සම්බන්ධ වෙමිනි

ගාල්ල, නාගොඩ, කැප්පිටියාගොඩ “සිත්ජය” සුබසාධක පදනම විසින් තම ග්‍රාමයේ දුවාදරුවන් මත් උවදුරෙන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන දරුවන්ට මත් උවදුර පිළිබදව දැනුවත්භාවය ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුනි. අද දින පැවැති මෙම වැඩසටහනට නාගොඩ රාජකීය විද්‍යාලයේ පාසල් දරු දැරියන් 400 ක පමණ පිරිසක් සහභාගි කර ගෙන තිබුනි.

මෙහිදි අදහස් දැක් වු බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් චන්දන වීරසිංහ මහතා කියා සිටියේ මෙරට බන්ධනාගාර 36 ක් වන බවත්, දැනට 33,000 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර තුල රඳවා තිබෙන බවත්, තවත් අවුරුදු කීපයක් යනකොට බන්ධනාගාර ගතවන සංඛ්‍යාව 50,000 – 60,000 දක්වා ඉහළ යා හැකි බව ද පෙන්වා දෙන ‌ලදි. බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සම්බන්ධ බව ද පැවැසිය. එම පිරිසෙක් වැඩි පිරිසක් තරුණ තරුණියන් බවත්, පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව ද පැවැසිය.

බන්ධනාගාර ගත වු පසු පුනරුත්ථාපනය කිරීමට වඩා පාසල් ළමුන් මත් දුව්‍ය භාවිතයේ ආදීනව පිළිබද දැනුවත් කිරීම වැදගත් බව ද පැවැසීය.

දකුණ ලංකාවේ අධ්‍යාපනයෙන් අංක එක නමුත් දකුණ පාතාල ක්‍රියාකාරීන්ගෙන් අංක එක බව ද පැවැසූ කොමසාරිස්වරයා මෙවන් සමාජයක මෙවැනි පාතාල ක්‍රියාකාරීන් බිහිවුනේ කෙසේ ද යන්න සිතාගත නොහැකි බවත්, මෑතක දී එනම් පහුගිය අවුරුදු තුන හතරක සිට බන්දනාගාර ගතවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද පැවසූ අතර, දරුවන් 1,500 ක් 2, 000 ක් අතර ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටින බවත්, .එයින් වැඩි පිරිසක් ද මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සම්බන්ධ බව ද පැවැසිය.

මෙහිදී බන්ධනාගාර කොමසාරිස් ධූරයෙන් පිදුම් ලැබු ජගත් චන්දන වීරසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කරමින් කැප්පිටියාගොඩ සිත්ජය සුබසාධක පදනම විසින් සමරු සිහිවටනයක් ප්‍රදානය කිරිම ද සිදු විය.

මෙම අවස්ථාවට ගාල්ල නාගොඩ රාජකීය ජාතක පාසලේ විදුහල්පති ගම්මැද්දේගොඩ පදුම ජෝති ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, නාගොඩ සහකාර පොලිස් අධිකාරි ධම්මික අමරසේන, නාගොඩ ප්‍රාදේශිය ලේකම්තුමිය, සිත්ජය සුබසාධක පදනමේ සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.