Spread the love

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන අනුව තාක්ෂණ විෂය බාර අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම පනත ක්‍රියාකාරී බවට පත්කිරීමේ දිනයන් පහත පරිදි ප්‍රකාශයට පත් කර ඇත:

(අ) පනතෙහි VI, VIII, IX හා X යන කොටස් බලාත්මක වන දිනය ලෙස 2023 දෙසැම්බර් 1 වැනි දින,
(ආ) පනතෙහි I, II, III හා VII යන කොටස් බලාත්මක වන දිනය ලෙස 2025 මාර්තු 18 වැනි දින.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි V වැනි කොටස 2023 ජූලි මස සිට ක්‍රියාත්මක වන අතර, එමගින් අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිතුමාට අවස්ථාව ලැබිණි. ඉන් පසුව 2023 ඔක්තෝබර් මස දී මෙම අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඒ බව ප්‍රසිද්ධ කරන ලදි. පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ කටයුතු කරනු ලැබීම නියාමනය කරන ආයතනයක් වශයෙන් මෙම අධිකාරිය ක්‍රියාත්මක වේ. එසේම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමට ද දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

මෙම නවතම ගැසට් නිවේදනය මගින් 2025 මාර්තු මස 18 දින සිට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක හා බලාත්මක තත්ත්වයට පත් කෙරේ. එසේම ‘ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම’ පිළිබඳ මෙම පනතෙහි IV කොටස බලාත්මක විය යුතු දිනය, පනත සඳහා කතානායකතුමන්ගේ සහතිකය ලත් දින සිට මාස 24කට නොඅඩු හා මාස 48කට නොවැඩි කාලයක් ඇතුළත දිනයක් විය යුතු බැවින් එකී කාල සීමාව තුළ වූ හා 2025 මාර්තු මස 18 දිනයෙන් පසු දිනයක සිට බලාත්මක කෙරේ.

මෙම පනතේ VI, VIII, IX සහ X කොටස් 2023 දෙසැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම මඟින් අධිකාරියේ අරමුදල නිර්මාණය කිරීමට මෙන්ම පනතෙහි 52 වැනි වගන්තිය යටතේ අධිකාරිය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ප්‍රධාන කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීමට අදාළ බඳවාගැනීමේ පටිපාටි වෙනුවෙන් නීති රීති සැකසීමට අවශ්‍ය පියවර ගැනීමටත්, අධ්‍යක්ෂ ජනරාල් හා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත අදාළ බලතල පැවරීමටත්, සෙසු මෙහෙයුම් කාර්යයන් මගින් අධිකාරියේ කටයුතු සම්පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමටත් හැකියාව ලැබී ඇත. එසේම විවෘත, පාරදෘශ්‍ය හා තරඟකාරී ක්‍රමවේදයක් මගින් අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ සහ පත් කිරීමේ ක්‍රියාවලිය සඳහාත්, පනත බලාත්මක වන 2025 මාර්තු 18 දිනට පෙර කාල සීමාව තුළ දී ආයතනික යටිතල පහසුකම් සංවර්ධන සහ ධාරිතා සංවර්ධන කටයුතු සිදු කිරීමටත්, ප්‍රධාන පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ කාර්යයන් සාර්ථක කර ගැනීමටත් මෙම ගැසට් නිවේදනය මගින් දත්ත ආරක්ෂණ අධිකාරියට හැකි වේ.

2024 වසරේ දෙවැනි හා තුන්වැනි කාර්තු තුළ පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ ප්‍රවේශ භාවිතා කරමින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම සඳහා වූ ප්‍රතිපත්ති රාමුව සහ රීති සහ රෙගුලාසි සකස් කිරීමටත්, 2024 වසරේ සිවුවැනි කාර්තුව හා 2025 වසරේ පළමු කාර්තුව තුළ එම ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමටත් දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

වරුණ ශ්‍රී ධනපාල
අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.)
දත්ත ආරක්ෂණ අධිකාරිය