Spread the love


නිමල් රාජපක්ෂ-

මෙරට ගොවීජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා 2021 මහ කන්නයේ සිට ණය වශයෙන් අතිවිශාල මුදලක් අදාල පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුව තිබු අතර එම මුදලින් රුපියල් මිලියන 18,000 ක් ගෙවා අවසන්බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අන්දමින් ගෙවීමට තිබු සම්පූර්ණ ණය මුදල රුපියල් මිලියන 20,000 ද ඉක්මවා තිබිනි. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත් වු පසු එම ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ලබා දීමට පියවර ගත්තේය.

ඊයේ (25) පස්වරුවේ කාෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පොහොර සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. 2021 වර්ෂයේ සිට පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු ණය මුදල් ප්‍රමාණය පිළිබඳව අමාත්‍යවරයා නිලධාරින්ගෙන් කරුණු විමසනු ලැබීය.
2022 යල කන්නයේ දී පුද්ගලික අංශය විසින් යුරියා පොහොර මිටියක් රුපියල් 40,000කට ආසන්න මුදලකට අලෙවි කළේ ඔවුන්ට රජයෙන් අය විය යුතු ණය මුදල් නොගෙවීම නිසාය. එම පොහොර සැපයුම්කරුවන් තමන්ට රජයෙන් අය විය යුතු මුදල රටේ ගොවීන්ගෙන් අය කිරීමට වැඩි මුදලට යුරියා පොහොර අලෙවි කිරීමට කටයුතු කර තිබිනි.
නමුත් මේ වනවිට ඔවුන්ට ගෙවීමට තිබු ණය මුදල්වලින් සියයට 90කටත් වඩා වත්මන් රජය විසින් ගෙවන ලද බැවින් මේ වනවිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට හැකියාව ලැබී තිබේ.
ලබන මස මුල් සතියේ මෙරටට ලැබෙන යුරියා පො‌හොර මෙට්‍රික් ටොන් 31,200ක තොගයත් සමග ඩොලරයට‌ සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය සහ ලෝක වෙළෙඳ පොලේ යුරියා පොහොර මිල අඩු වීමේ වාසිය ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු යොදා ඇත. ඒ අනුව යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.