Spread the love

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත්වෙයි.
මේ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාබ උපයා ඇත.

මෙම පොහොර සමාගම් දෙක තුළින් පොහොර සැපයීම ඇතුළු ගොවි ජනතාවට ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී එහිදී රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මෙම වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිව ඇති බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමීම ද ඊයේ අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි. මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මුලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

දැනට මෙම පොහොර සමාගම් දෙක මගින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සැපයීම සිදු කරන අතර එම කටයුතු තවදුරටත් පුළුල් කරමින් පලිබෝධ නාශක අලෙවිය සඳහා ද කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගම් දෙකෙහි සභාපතිවරයාට උපදෙස් දුන්නේය. ඒ සඳහා අනපනත් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.