Spread the love

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් බස්රථයක් ඔයට පෙරළී සිදුවු අනතුරට බස්රථ රියදුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ, අධික වේගයෙන් ධාවනය කර ඇති බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට පත් වන්නට ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අදාළ බස්රථ රියදුරුට එරෙහිව මීට පෙර ද අන්තරාදායක රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බවය.

කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් පානය කර නොසිටි බවත් වෙනත් විෂ මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටියේ ද යන්න සොයා මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ (09) රාත්‍රි 7.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ මනම්පිටිය කොටලීය පාලම මතදීය.

කඳුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් කොටලීය පාලමේ ගැටී එහි ආරක්ෂිත වැටද කඩාගෙන මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොටලීය ඔයට පෙරළී තිබේ.

“Sri raj news” වාර්තාකරු සඳහන් කළේ, අනතුරින් පසු බස්රථය ඇදවැටුණු ස්ථානය අඩි 15ක් පමණ ගැඹුරු බවය.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් හා පොලීසිය කඩිනමින් මැදහත් වී අනතුරට පත් බස් රථයේ සිටි මගීන් ඉන් පිටතට ගැනීමට දැඩි වෙහෙසක් දැරීය.

අනතුරින් තුවාල ලැබූ සහ මුදාගත් පිරිස ගිලන් රථ මගින් රැගෙන ආවේ පොළොන්නරුව මහ රෝහල වෙතය.

කෙසේවෙතත් එම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුට දිවි අහිමිවුණි.

මියගොස් තිබුණේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 9ක් වන අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්ද ඒ අතර සිටී.

මීට අමතරව තවත් පුද්ගලයින් 42කට තුවාල සිදුවූ අතර දරුවන් තිදෙනෙක් සහ කාන්තාවක්ද ඒ අතර වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තවත් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අනතුරට පත්වූවන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද රෝහලට පැමිණ

ඔයට වැටුණු බස් රථය මහත් පරිශ්‍රමයක් දරමින් ඊයේ රාත්‍රීයේම ගොඩ ගනු ලැබීය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 50 ක් හෝ 60 ක් පමණ සිටින්නට ඇති බවට විශ්වාසය පළ කරන අතර ඒ අනුව කොටලීය ඔයේ ගිලී අතුරුදන් වූවන් සිටිනම් ඔවුන් සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් තවමත් මෙහෙයුම් සිදුකරමින් පවතී.