Spread the love

පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෑතකදී දුන් ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ජාතික පොලිස් කොමිසම අතර හටගෙන ඇති ආරවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දක්වා ගොස් ඇත.

පොලිස් ස්ථානාධිපතිවරුන්ට පත්වීම් ලබාදීමේ වගකීම තමාට පවරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසමෙන් පසුගිය සතියේදී ලිඛිතව ඉල්ලීමක් කර ඇතත්, එයට ලිඛිතව ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම ලිපියේ පිටපතක් ජාතික පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද යොමුකර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු වලට ජාතික පොලිස් කොමිසම මැදිහත් වන බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා චෝදනා කිරීමත් සමග, පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයා අතර හටගෙන ඇති ආරවුල (22) මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධ කරළියට පැමිණියේය.

එහිදී වීරසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ ස්ථාන මාරුවීම් ලබා දීමට අවශ්‍ය බලය නොමැතිව තමන් නමට පමණක් සීමා වූ පොලිස්පතිවරයකු වනු ඇති බවයි.

ලබාදුන් ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා සිටි බවත්, එහිදී තමන් ලබාදී ඇත්තේ පත්වීම නොව ස්ථාන මාරුවීම් බැවින් ඒ සඳහා පොලිස්පතිවරයාට බලය තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව දන්වා ඒවා ඇති බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්තවීරසූරිය මහතා (22) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් වැඩබලන පොලිස්පතිවරයා කරන තරයේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කොමිසමට ලබා දී ඇති බලය තුළ කොමිසම ක්‍රියා කරන බවත් ජාතික පොලිස් කොමිසමේ නම ප්‍රකාශ කිරීමට අකැමැති ආරංචිමාර්ග පැවැසුවේය.

පොලිස් ස්ථානාධිපතිවරුන්ට පත්වීම් ලබාදීමේදී තිබෙන ක්‍රියා පටිපාටියෙන් ජාතික පොලිස් කොමිසමට බැහැර විය නොහැකි බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස නිර්දේශ කරන පත්වීම් අනුමත කිරීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නියම කරන ලද ක්‍රියා පටිපාටියක් තිබෙන බවත්, එම ක්‍රියාපටිපාටියෙන් බැහැරව ජාතික පොලිස් කොමිසමට කටයුතු කළ නොහැති බවත් ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග පැවැසුවේය.