ම
මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙවර කාන්තා සතියක් නම්කර ඇති අතර, පොදු ප්‍රවාහනයේ කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් මාර්තු 05 දින වෙන්කර තිබේ. ඒ වෙනුවෙන් බැස්ටියන් මාවත පුද්ගලික බස් මගී පර්යන්තයේ දී කාන්තා හිංසනය පිටුදැකීම සම්බන්ධයෙන් මගී ජනතාව දැනුවත් කිරීම උදෙසා සැකසූ ස්ටිකර්, සංකේතාත්මකව බස් රථවල ඇලවීම අද (05) පෙරවරුවේදී සිදු කරන ලදී. ඊට සමගාමීව නාරාහේන්පිට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්විණි.
කාන්තා හිංසනය වෙනුවෙන් පොදු මගී ජනතාව අවධි කරමින්, ඊට එරෙහිව නැගී සිටීමට ඔවුන් පෙළඹවීම වෙනුවෙන්, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි බස් රථවල සහ දුම්රියවල මෙම පෝස්ටර් ඇලවීම, අද දිනයේදී ක්‍රියාත්මක කරනු ලබන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පවසන ලදී.
මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය ඩී.බී. විතාරණ මහතා..,
“කාන්තා හිංසනය කියන්නේ නූතන සමාජයේ කාන්තාව මුහුණ දෙන විශාල ප්‍රශ්නයක්. නමුත් මෙය සමාජයේ විවෘතව කතා නොවෙන ප්‍රශ්නයක්. පොදු ප්‍රවාහනය තුළ මෙය වඩාත් දරුණු අන්දමින් සිදුවනවා. කාන්තාව කායික, මානසික මෙන්ම වාචික වශයෙන් මෙම හිංසනයට ගොදුරු වෙනවා. මේ සියලුම ආකාරයේ හිංසන අපි නැවැත්විය යුතුයි. ජාතික ගමනාගමන කොමිසමේ ඉලක්කය තමයි පොදු ප්‍රවාහනය, කාන්තා හිංසනයෙන් තොර මහජන කලාපයක් බවට පත් කිරීම. මේ සඳහා නීතිමය තත්ත්වයන් ද ක්‍රියාත්මක කළයුතු බැවින් ඒ සඳහා වන ආයතනයන්ගේ ද සහාය ලබා ගැනීමට නියමිතයි. ඒ වගේම පොදු ප්‍රවාහනයේදී සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම වඩාත් විධිමත් ආකාරයෙන් සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව
- 1938 – කාන්තා උපකාරක සේවය
- 109 – ළමා හා කාන්තා හදිසි ඇමතුම්
- 119 – පොලිස් හදිසි ඇමතුම්
- 1955 – ජාතික ගමනාගමන කොමිසන් සභාව
- 1958 – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
- 1971 – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
යන හදිසි ඇමතුම් අංකයන්ට මගී පැමිණිළි ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
නමුත් මේ නීතියෙන්ම විසඳිය හැකි ගැටළුවක් නෙමෙයි. ප්‍රබල මහජන කථිකාවක් තුළින් විසඳුම් ලබාගත යුතු පශ්ණයක්. ඒ නිසා අපි මාධ්‍ය තුළින් මෙම කතිකාව ගොඩනැගිය යුතුයි. එසේම තාක්ෂණික වශයෙන්ද මේ සඳහා යම් සහයෝගයක් ලබාගැනීමට විශේෂ යෙදවුමක් (App) ඉදිරියේදී යොදා ගැනීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මගීන් සංවිධානාත්මකව මෙම අවස්ථාව සඳහා සම්බන්ධ කරවිය යුතුයි. හිංසනයකට මුහුණ දෙන කාන්තාවන් නිතැතින්ම හුදෙකලා වනවා. ඒ තත්ත්වය වෙනස් කරලා, යම් කාන්තාවක් හිංසනයට ලක්වන්නේනම්, ඊට විරුද්දධව නැගී සිටින්න, ක්රියාත්මකවෙන්න, සාක්ෂි ලබාදිමට ඉදිරිපත් වෙන්න කියලා අපි සමස්ත මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ නීතීඥ කණ්ඩායමක්ද සංවිධානය කිරීමට නියමිතයි ” යැයි පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාච සදහා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨ මහාචාර්ය ෆාරා හනීෆා යන මහත්මීන් සහභාගි වූහ.