Spread the love

සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයා ඝාතනය කර පුලුස්සා දමා තිබු මල සිරුර මාදම්පේ ප්‍රදේශයේ කැලැවක තිබී අද(07) පෙරවරුවේ සොයා ගැනීමට පොලිසිය සමත්වි ඇත.
කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත ජයවංශ නැමැත්තා අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වුයේ ඉකුත් අප්‍රේල් 22 වනදාය.

සුසිත ආහාරපාන වෙළෙඳසැලක් පවත්වා ගෙන යන අතර ඔහු පසුගිය අප්‍රේල් 22 වනදා සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබු අතර එතැන් පටන් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.

තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නැමැත්තෙක් අත්අඩංගුවට පත්වූ අතර ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේය.

අතුරුදන්ව ඇති තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය. .