Spread the love

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාවට සංශෝධන එක් කරමින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සදහා ආණ්ඩුවේ ඇමති ධුර දරන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක් විසින් පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද අවසන් තීරණයක් ගැනීම එම පක්ෂයේම විධායක සභාව නියෝජනය කරන බහුතරයකගේ දැඩි විරුද්ධත්වය මත දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභා රැුස්වීමේදී මෙම විරෝධය එල්ලවී තිබේ.

පොදුජන එක්සත් පෙරමුණේ දැනට පවතින ව්‍යවස්ථාවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එම පෙරමුණේ නායකත්වය ඇතුළුව වැඩි බලයක් හිමිවී තිබුණද, නව ව්‍යවස්ථා සංශෝධන මගින් එම පක්ෂය සතුව තිබූ බලතල අඩුකර, පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයද නායකත්ව මණ්ඩලයක් වෙත පැවරීමට යෝජනා කර තිබීම විරෝධයට ප‍්‍රධාන වශයෙන් හේතුවී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එහි නායකයා සතු බලය අඩු කෙරෙන නව ව්‍යවස්ථාවකට තමන්ගේ අනුමැතිය කිසිසේත්ම හිමි නොවන බව පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් බහුතරයකගේ මතය වී තිබේ.