Spread the love

ගණිකා වෘත්තිය නීති ගත කරනවලු. අපි කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන එකයි, කාන්තාවන් පියයුරු පෙන්වමින් ඇවිදිනවා කියපු එකයි ඉල්ලා අස්කරගන්න කියලා. එහෙම නැති වුනොත් අනුර කුමාරගේ කටින් ඒක ඉල්ලා අස්කර ගන්නා තුරු පැලවත්ත කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා. කාන්තාවන් සමග ගිහින් පැලවත්ත කාර්යාලය වටලනවා. අපි මේකට අභියෝග කරන්න ඕනේ. අපේ හාමුදුරුවනේ පිරිත් නූල් බැන්දම විසි කරනවා. ආගම දහම එපා කියලා කියනවා. මේ අය තමා අරගල වල හිටියේ. සංස්කෘතිය විනාශ කරන්න එන ජනතා විමුක්ති පෙරමුණ මේ රටින් තුරන් කරන්න ඕනේ.

ජනාධිපතිතුමා මාස 14 ට ජාත්‍යන්තරයට 14 වතාවක් ගියා කියලා අනුර කුමාර මහතා ප්‍රකාශ කරනවා. මේ රට ගොඩගන්න ජාත්‍යන්තරයේ සහය ඉල්ලගන්න ජාත්‍යන්තරයට යන්න ඕන කෙනා යන්න ඕනේ. අනුර කුමාරට ජාත්‍යන්තරයට ගිහින් අනිත් ජනාධිපතිවරු වගේ වැඩ කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවම බයේ හැංගුනා. මෙහෙ උගුර කඩාගෙන කෑ ගහනවා ආවොත් දෙන්නේ මෙහෙමයි කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අය පැලවත්ත කාර්යාලයට ගියාම අනුර කුමාර හැංගිලා. තරුණ අයට විශේෂයෙන් කියන්න ඕනේ වැටිලා තියෙන රට ගොඩගන්න ලෝකය දකින, ලෝකය එක්ක කටයුතු කරන නායකයෙක් ඕනේ. ලෝකයේ නව තාක්ෂණය එක්ක යන නායකයෙක් ඕනේ. එහෙම නැතිව දූපත් මානසිකත්වයෙන් ඉන්න, ලිං මැඩි මානසිකත්වයෙන් ක්‍රියාකරන, අද බාල, ගොලු චරිත අපිට ඕනේ නැහැ. අනුර කුමාර මහත්තයා රැස්වීම කරපු භූමීය තමා මේ. ඊට වඩා සෙනගක් අද මෙතන ඉන්නවා. අනුර කුමාර ජනාධිපතිවෙලත් ඉවරයි. අපි දැන් තමා වැඩසටහන පටන් ගත්තේ. දිස්ත්‍රික්ක 22 ආසන 160 මේ විදියටම අපේ වැඩසටහන අරන් යනවා. ජා ඇල ආසනයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 15 ක් නව සන්ධානයට අද එකතු වෙනවා. මුළු ලංකාවෙම පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති, අනෙකුත් පක්ෂ වල සිටින වෘත්තිය සමිති අපට එකතු වෙනවා. ලංකාවෙම මේ විදියට සංවිධානය කරලා තියෙන්නේ. මේක එක පෙරහුරුවක් විතරයි. අපි සියලු පක්ෂ, සියලු මන්ත්‍රීවරුන් එක්ක කතා කරලා යට වැඩපිළිවෙළ හදලා ඉවරයි. ඒ නිසා බය නැතිව එකතු වෙන්න, බොරු කාරයින්ට, කයිවාරුකාරයින්ට මේ රට හදන්න බැහැ.

ජවිපෙ මන්ත්‍රීවරුන් වන අන්ජාන් උම්මා, විජිත් ⁣හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ හිටියා. මොනවත් කරලා නැහැ. නාලක ⁣ගොඩහේවා ගම්පහින් ජන්ද අරගෙන පැනලා ගියා. මිනිස්සු හිතුවා නාලක ⁣ගොඩහේවා ගම්පහ දිව්‍යලෝකයක් කරයි කියලා. ගෝඨාභය රාජපක්ෂවත් කාලා, අපිවත් විනාශ කරලා, රටත් විනාශ කරලා, ගම්පහ දිස්ත්‍රික්කය විනාශ කරලා, නැව ගෙනල්ලා මුහුදත් විනාශ කරලා, පරිසරයත් විනාශ කරලා, රටත් බංකොලොත් කරලා සජිත් මහත්තයා ගාවට පැනලා. සජිත් මහත්තයා කීවනේ රට වැට්ටෙව්වේ රාජපක්ෂලා කියලා. රට වට්ටපු රාජපක්ෂලාගේ කැබිනෙට්ටුවේ අන්තිම දවසෙත් හිටියා. ඔය කියන අය ජනතාවට උදව් කරන්නෙ නැහැ. මහජන දිනයක් තියන්නේ නැහැ. ජනතා විමක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 39 ක් ආවා. විජිත හේරත්, අන්ජාන් උම්මා එක මහජන දිනයක් කළේ නැහැ. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දුන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරය ගැන ජනතා විමුක්ති පෙරමුණ ජා ඇල ඇවිල්ලා කතා කරලා තිබුනා. මේ ඉන්න ආණ්ඩුව වග කියන්න ඕනේ කියලා. පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ ප්‍රහාරය එල්ල කරපු අය. ඒ අතරින් ⁣තුන්දෙනෙක් ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඉබ්‍රාහිම්ගේ පුත්තු. ඒ අය තමා ප්‍රධාන වගඋත්තරකරුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික ජනතාව ජවිපෙට ජන්දයක් දෙනවා කියන්නේ මැරුණු කතෝලික ජනතාව පාවලා දීලා ජන්දයක් දෙනවා කියන එක. මෙ අය මැරුවේ කවුද ඉබ්‍රාහිම්ගේ පුත්තු. ඒ අය ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෝ. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණට කතෝලික ජන්දයක් යන්න බැහැ. අද සුද්දවන්තයෝ ව⁣⁣ගේ ඇවිල්ලා කතා කරනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැහැ ව⁣ගේ වෙන අයට ඇගිල්ල දික් කරනවා. ජාතික ලැයිස්තුවෙන් දීලා, ඒ පුත්තු ජවිපෙට විශාල ලෙස උදව් කලා.

සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා දක්ෂ නීතිඥවරුන්, නලින් ප්‍රනාන්දු, මම ව්‍යාපාරිකයින්. ජවිපෙ අනුර කුමාර, විජිත හේරත්, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක රස්සාවකුත් නැහැ. ව්‍යාපාරයකුත් නැහැ. අපිට වඩා හොඳට ජීවත් වෙනවා. ඕක අපේ මිනිස්සුන්ට කියලා දුන්නනම් හොදයිනේ. රස්සාවක් නැතිව, ව්‍යාපාරයක් නැතිව ජීවත්වන ක්‍රමය. අනුර කුමාර සත පහක් මේ රටට බදු ගෙවලා නැහැ. රස්සාවක් දීලා වැටුපක් නොගෙවපු කෙනෙක්. අපි රස්සා කරලා, ව්‍යාපාර කරලා, රස්සා දීලා, බදු ගෙවලා, මිනිස්සුන්ට ඇහුම් කන් දීලා, සංවර්ධනයට දායකත්වය දුන්න අය. හැබැයි අපිට හොරු කියනවා මුකුත් නොකරපු අය. මේක සමහර අය විශ්වාස කරනවා.

අපිත් එක්ක මේ නව සන්ධානයට පක්ෂ 28 කට වැඩියෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 කට එහා අපි එක්ක සාකච්ජා කරනවා. අපිට පුලුවන් වෙනවා ලංකාවේ දැවැන්තම සන්ධානය හදලා, වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්න හැම ආසනයකම ජන ගංගාවක් එකතු කරලා ඊ ලග බලය නායකයකුට නොව නායකත්ව මණ්ඩලයකට ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දෙන්න. ගෝඨාභය රාජපක්ෂව ගේන්න කියලා සමාජ මාධ්‍යවල ලොකු රැල්ලක් ගේනාවා. අපි වැඩ කරන්න හිටියේ නැහැ. ජනතාවගේ ඉල්ලීම උඩ අපි පසු බැහැලැ ගෝඨාභය මහතාට වැඩකළා. අන්තිම ප්‍රතිඑලය වුනේ සමාජ මාධ්‍ය කට්ටිය අයින් වෙලා අපි 120 අහුවුනා. ඒ නිසා නැවත කෘතිමව මවන සමාජ මාධ්‍ය රැළි වලට අහුවෙලා, කයියනායකලට, විහිලුකාරයින්ට ජන්දය දෙන්න එපා කියන එක ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා යැයි” නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.