Spread the love

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වු පාසල් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ සැකකරුඅද පෙරවරුවේ සිසුවිය සමගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අම්පාර, බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය කරන ලද බස් රථයක් තුළ රැඳී සිටියදී ඔවුන් දෙදෙනා අද (13) උදෑසන මෙලෙස සිය භාරයට ගැනීමට සමත්වී ඇත.

පැහැරගැනීම සිදුකළ ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ දී එම සැකකරු අම්පාර පොලිස් වසමේ සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අම්පාර පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව අද උදෑසන සැකකරුව හා දැරියව පොලිස් භාරයට ගෙන ඇත.

දැරියව වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු සිදුකරමින් සිටින බව ද පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31ක් වූ ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

දවුලගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් ඊයේ දිනයේ දී මෙලෙස පැහැරගැනීමට ලක් ව තිබු අතර පැහැරගැනීම සිදුකළ සැකකරු එම ව්‍යාපාරිකයාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බව සඳහන් වුණි. 

පැහැරගැනීමට ලක්වු සිසුවිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදා විමර්ශන ආරම්භ කර තිබිණ..