Spread the love

කොවිඩ් ව්‍යසනයෙන් පසු ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම රටේ පැවති අරගල ද හේතු කොටගෙන 2022 වර්ෂය වන විට සමස්ත රට ම හා අධ්‍යාපන ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක් ව තිබූ අතර එම වසරේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම මෙන් ම උත්තර පත්‍ර පරීක්ෂාව සහ ප්‍රතිඵල නිකුත් කිරීම මාස හයකට වඩා ප්‍රමාද වී තිබූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමිනි.

තමන් 2022 වර්ෂයේ ජූනි මාසයේ අධ්‍යාපන ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවේ අධ්‍යාපන පද්ධතියේ පැවති අභියෝගයන්ට මුහුණ දෙමින් මේ දක්වා සිදු කරනු ලැබූ වැඩ කොටසත් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙනුත් මෙහි දී ඒ මහතා කරුණු පැහැදිලි කළේ ය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම කාල වකවානුවේ විභාග කාලසටහන් පාසල් වාරසටහන් හා නොගැළපෙන තරමට සිදු ව තිබූ ප්‍රමාදයන් අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑම් එල්ල කළ බවයි. 2019 වර්ෂයේ සිට ගුරු පුහුණු සැසි නොපවත්වා තිබූ අතර සියලු බඳවාගැනීම් නතර වී තිබූ බවත් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු පරිපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු එක වර විශ්‍රාම ගැනීම නිසාත් එසේ ම ඒ වන විට පැවති විශ්‍රාම යෑමේ වයස 65 සිට 60 දක්වා සීමා කිරීම නිසාත් පැවති ගුරු හිඟය වඩාත් උග්‍ර අතට හැරුණු බවත් සඳහන් කළ අමාත්‍යවරයා නව බඳවාගැනීම්වලට මුදල් ප්‍රතිපාදන වෙන් ව නොතිබූ පසුබිමක අධ්‍යාපන ක්ෂේත්‍රය ම එම අවස්ථාවේ මහත් අර්බුදයකට මුහුණ පෑ බව ද සඳහන් ‍කළේ ය. වැටුප් ගෙවීම ද ඉතා දුෂ්කර වූ අතර පෙළපොත්, දිවා ආහාර හා නිල ඇඳුම් ලබා දීමේ යාන්ත්‍රණය ද නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙළක් නොතිබූ බවත් පැවසී ය. එමෙන් ම පාසල් යාම සඳහා බස් රථවලට මෙන් ම වෑන් රථවලට ඉන්ධන නොතිබූ අතර පොදු ප්‍රවාහනය ද අක්‍රීය ව ඉන්ධන පෝලිම් තිබූ නිසා උත්තර පත්‍ර පරීක්ෂාවට පරීක්ෂකවරුන් ගෙන්වා ගැනීමට නොහැකි වීමෙන් ඒ සියලු කටයුතු අඩපණ වුණු බවත් ඒවාට විසඳුම් සෙවීමට පෞද්ගලික මට්ටමින් පවා මැදිහත් ව ක්‍රියා කළ බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පැවසී ය.