Spread the love

කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානය තුළ ස්ථාපිත කරන ලද අතර, එහිදී පාසල් සිසුන් දැනුවත් කිරීම හා එම මාර්ග ආරක්ෂා ඒකකය වෙත පාපැදි ලබා දීමේ අවස්ථාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.


පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබා දීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම උද්‍යානයේ මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් කොළඹ නගර සීමාව තුල පමණක් නොව දිවයින පුරාම ඇති පාසල් දරුවන් සඳහා මෙම ඒකකයේ මාර්ග නීති රීති පිළිබඳ ප්‍රායෝගික පුහුණුවට සහභාගී විය හැකිය.එක් කණ්ඩායමක් සඳහා පුහුණු කාලය පැය දෙකකි. පුහුණු කාලයෙන් පසුව සහතික පත්‍රයක් ද එම ප්‍රායෝගික පුහුණුව අවසන් කළ සිසු දරුවන් හට පිරිනමනු ඇත. එමෙන්ම කොළඹ නගරයේ අධ්‍යාපන චාරිකා වල නියැලෙන පිට පලාත් වල පාසල් දරුවන් හට ද මෙම මාර්ග ආරක්ෂණ ඒකකයේ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී විය හැක. මේ සඳහා කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලබා ගත යුතු වේ.


මෙම අවස්ථාවට සහභාගී වූ ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ මාර්ග නීති රීති පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම තුළින් මාර්ග අනතුරු අවම කිරීමට හැකි වන බවත්, රිය පැදවීම සඳහා රියදුරු බලපත් ලබා ගැනීමෙන් පසු මෙම දරුවන් එම මාර්ග නීති රීති අනුගමනය කරනු ඇති බව තමාගේ අපේක්ෂාව බවයි.එමෙන්ම බීමත් රියදුරන් සිදුකරනු ලබනු මාර්ග අනතුරු අවම කිරීම සඳහා මත් ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් පරීක්ෂාවට සඳහා උපකරණ කට්ටල 5000 ක් මේ වන විටත් රථ වාහන පොලිස් නිළධාරීන් වෙත ලබා දීමට කටයුතු කර ඇති බවත්, ඒ මඟින් මත්පැන් වලට අමතරව වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කල රියදුරන් හඳුනා ගැනීමට හැකි බවත්, පැවසීය.
එමෙන්ම මාර්ග නීති කඩන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබා දීමේ ක්‍රම වේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව ද, ලබන වසරේ මුල සිට එම නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද , තව දුරටත් පැවසීය. වාහන මඟින් පිට කරනු ලබන දුමාරය හේතුවෙන් සිදු වන වායු දූෂණය අවම කිරීමට ද වායු විමෝචන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇති බව ද, අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද කතා කරමින් කියා සිටියේ මාර්ග නීති රීති පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතාමත්ම කාලෝචිත ක්‍රියාවක් බවත් මාර්ග අනතුරු අවම කිරීම සඳහා මෙම වැඩ පිළිවෙල ඉවහල් වන බවත්ය.
මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස්, නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) ඉන්දික හපුගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගීවුහ..