Spread the love

පාසල් සිසුන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රු. 3,000ක වටිනාකමකින් යුත් වවුචර් පත් ඉදිරි සති 2-3 තුළ ප්‍රදානය කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ ගිංතොට සහිරා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් පිරිනමනු ලබන මේ දීමනාව 2024දී තව දුරටත් වැඩි කරන බවද කී ඇමැතිවරයා 2024 වර්ෂයේ සිට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාවට නංවමින් පරිපාලන වෙනස්කම් වෙත මුලින්ම පිවිසෙන බවත්, විෂය මාලා සංවර්ධනය සඳහාද ප්‍රමුඛ අවධානයක් යොමු කර ක්‍රියා කරන බවත් පැවසීය.

මේ නව ක්‍රියාකාරකම් හමුවේ සිසුන් දෛනිකව පාසල් පැමිණ පන්ති කාමරය තුළ රැඳී සිටිමින් මොඩියුලර් ක්‍රියාකාරකම්වල නියැළීම අනිවාර්ය වන බව අවධාරණය කළ අතර ප්‍රාථමික පන්තිවල විභාග හැකි තාක් අවම කිරීමට මෙන්ම පූර්ව ළමා විය ඉගැන්වීම් විධිමත් කිරීමට සහ ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් උපාධිධාරි පුහුණු ගුරුවරුන් බඳවාගනිමින් ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක පක්ෂය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද කී ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, තාක්ෂණ වැනි විෂයන් සඳහා උපාධිධාරීන් 5,450ක් බඳවාගැනීමට මේ දිනවල නිවේදන නිකුත් කර ඇතැයි කී ඇමැතිවරයා ඉන් ජාතික පාසල් සඳහා 1,700ක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම බඳවාගනු ලබන බවත් විශ්‍රාමයෑම, රට හැර යෑම වැනි හේතු නිසා පළාත් මට්ටමින් මතුව ඇති ගුරු පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදු කිරීමටද අනුමැතිය දී ඇති බවත්, ඉක්බිති රටේ ගුරු ඌනතාව බෙහෙවින් වළක්වාගත හැකි වනු ඇති බවත් පැවසීය.

එසේම නව පරිපාලනමය ව්‍යූහය මත පර්ෂද පාසල් සංකල්පය මත පාසල් පර්ෂද තුළ ගුරු තුලනයන් සිදු කරගැනීමෙන් යම් ගුරු හිඟයක් වෙතොත් එය කළමනාකරණය කරගත හැකි වනු ඇතැයිද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාසල් විනය යථාවත් කර පවත්වාගෙන යෑම ගැනද මෙහි දී සිහිපත් කළ ඇමැතිවරයා ලබන වසර වන විට උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3,000ක පමණ ඩිජිටල්කරණ ක්‍රියාවලියද සිදු කර අවසන් කරන බවද කියා සිටියේය. එසේ ම ලබන වසරේ සිට පාසල්වල අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන අතර, ඒ යටතේ බාගෙට අවසන් කර ඇති පාසල් ගොඩනැඟිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත්, නව විද්‍යාගාර වැනි අත්‍යවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.