Spread the love

නැවත වතාවක් මෙම පාර්ලිමේන්තු සැසිවාරය කල් තබනු ලැබුවහොත් එය පාර්ලිමේන්තුව කල් තැබීමේ අලුත් වාර්තාවක් වන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (22) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

පාර්ලිමේන්තු කල් තැබීමත් අළුත් වාර්තාවක්

ජනාධිපතිතුමා විසින් මේ සතියේ දී නැවත වරක් පාර්ලිමේන්තුව කල් තබන බවට තොරතුරු ලැබිලා තිබෙනවා. 24දා රාත්‍රියේ පාර්ලිමේන්තුව කල් තබලා පෙබරවාරි දෙවන සතියේ යළි කැඳවන්න ජනාධිපති තීරණය කරලා තිබෙන බවට නිල නොවන ආරංචියක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(3) වගන්තිය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් තබන්න බලය තිබෙනවා. එහෙමයි කියලා හිතෙන හිතෙන වෙලාවට පාර්ලිමේන්තුව කල් තබන්න කිසිම ජනාධිපතිවරයෙක් කටයුතු කරලා නෑ. මේ පාර්ලිමේන්තුව රැස් කරලා තවම අවුරුදු තුනහාමාරක් නෑ. පෙබරවාරි මාසයේ පටන් ගන්නේ පස්වන සැසිවාරය. මීට කලින් සැසි වාර පහකට වඩා පවත්වලා තිබෙන්නේ එකම එක පාර්ලිමේන්තුවයි. 1978 සිට 1988 දක්වා අවුරුදු 10කට වැඩි කාලයක් පැවැත්වුණු පළමු පාර්ලිමේන්තුව නම් සැසි වාර හතක් පවත්වලා තිබෙනවා. අවුරුදු දහයාමාරටම සැසි වාර හතයි. මේ පාර්ලිමේන්තුව අවුරුදු තුනහාමාරට සැසි වාර පහයි. මේක මහජන මුදල් මෙන්ම කාලය නාස්ති කිරීමක්. අපි ඇයි එහෙම කියන්නේ?

පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරීමත් එක්ක පාර්ලිමේන්තුවේ කමිටු 11ක් අහෝසි වෙනවා. කෝප් කෝපා මුදල් කමිටුව වගේම පෙත්සම් කාරක සභාවත් ඒ අතර තිබෙනවා. මේ සියල්ල නව සැසි වාරයේ දී නැවත පත් කරන්න වෙනවා. ඒ වගේම සැම අමාත්‍යාංශයකම උපදේශක කාරක සභාත් අහෝසි වෙනවා. එතැන කමිටු 30ක් තිබෙනවා. ඒ සියල්ල නැවත පත් කරන්න වෙනවා. ඒවා පත් කරන තුරු මේ කමිටු වලින් කරන වැඩ සියල්ලම අකර්මන්‍ය වෙනවා.

ඒ විතරක් නොවේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන යෝජනා සහ වාචික ප්‍රශ්නත් අහෝසි වෙලා යනවා. ඒ සියල්ලම නැවත සකස් කරලා ඉදිරිපත් කරන්න වෙනවා. ඊට අමතරව භෝජන සංග්‍රහයක් එක්ක දැවැන්ත උත්සවයක් පවත්වලා ජනාධිපති ඇවිත් උත්සවාකාරයෙන් තමයි පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරන්නේ. මේ සියල්ලම මුදල් නාස්තියක් වගේම කාලය නාස්ති කිරීමක්. ඒ නිසා මුදල් සහ කාලය නාස්ති කරමින් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් ජනාධිපති මුදුන් පමුණුවා ගන්න බලාපොරොත්තු වන අරමුණ මොකක්ද කියලා වහාම ජනතාවට කියන්න ඕනි. මොකද මේ නාස්ති වෙන සෑම රුපියලක්ම ආණ්ඩුවට දීලා තිබෙන්නේ ජනතාව.