Spread the love

සිද්ධීන්වලට පැමිණි කාර් රථ දෙකක් ද බස්නාහිර පළාතෙන් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

මේ අතර, කඳාන පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (ඔක්. 16) අලුයම පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

පොලිස් වෙඩි පහරින් මෙසේ මියගොස් ඇත්තේ, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රාමයියා ජෙයරාජ් නමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් කඳාන පොල්පිතිමූකලානේ ජය මාවතේ පදිංචි මෙම මාළු ව්‍යාපාරිකයාගේ නිවසට ඉකුත් පස්වැනිදා උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණේ කඳාන පොලිසිය මගිනි. මෙම විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයක් උපයෝගි කරගෙන බව ය.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මෙම ව්‍යාපාරිකයා නිවෙසේ නොසිටිය අතර ඔහුගේ බිරිය සහ දරුවන් නිවෙසේ රැඳී සිටිය ද ඔවුන්ගේ ජීවිතවලට හානියක් සිදුව තිබුණේ නැත.

තුවක්කුකරුවන් සිදු කළ එම වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයාගේ නිවසේ වීදුරු ජනේල දෙකකට අලාභ හානි සිදුව තිබිණි.

විමර්ශන කළ පොලිසිය පැවසුවේ ව්‍යාපාරිකයා බිය ගැන්වීමේ අරමුණෙන් නාඳුනන තුවක්කුකරුවන් මෙම වෙඩි තැබීම කර ඇති බවට සැක කරන බව ය.

කෙසේ වෙතත් කරන ලද දීර්ඝ විමර්ශනයේදී හෙළි වූයේ රුපියල් කෝටියක කප්පම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නිසා විදේශගත සංවිධානාත්මක අපරාධකරුවකු මෙම ව්‍යාපාරිකයාට මීට දින කිහිපයකට පෙර තර්ජනය කිරීමක් ද සිදුව ඇති බව ය.

මිතුරෙකුගේ ජංගම දුරකතනය හරහා මෙම ව්‍යාපාරිකයා ඇමතූ විදේශගත පුද්ගලයා තමාට රුපියල් කෝටියක කප්පම් මුදලක් අවශ්‍ය බවට ඉල්ලා තිබුණ ද ව්‍යාපාරිකයා එම කප්පම් මුදල ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ අනුව දිගින් දිගට ම විමර්ශනය කළ පොලිසිය මෙම වෙඩි තැබීම ඉල්ලූ කප්පම් මුදල් නොදීම නිසා ව්‍යාපාරිකයා බිය ගැන්වීමේ අදහසින් කරන්නට ඇති බවට සැක පළ කළේ ය. එමෙන් ම මෙම වෙඩි තැබීම දැනට ඩුබායි රාජ්‍යයේ ජීවත්වන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් බවට ද පොලිසියේ සැකය විය.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ ඇතුළු කණ්ඩායමක් සිදු කළ විමර්ශනයේදී සීසීටීවී කැමරා පරීක්ෂාවෙන් මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනා ගෙන තිබිණි.

ඒ හඳුනා ගැනීමට අනුව සැකකරු සොයා විමර්ශන ආරම්භ කළ අතර ඊයේ අලුයම මෙම වෙඩි තැබීම් සිද්ධියේ ප්‍රධාන සැකකරු ජෙයරාජ් නමැත්තා සපුගස්කන්ද පොලිස් වසමේ නිවසක සැඟව සිටින බව කඳාන පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව, අලුයම 3.30ට පමණ කඳාන පොලිසියේ කණ්ඩායමක් සැකකරු රැඳී සිටි නිවස වටලා තිබේ. පසුව නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යුහුසුලුවත් ම සැකකරු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි. පසුව නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

එම ප්‍රහාරයෙන් පසුව නිවස පරීක්ෂා කිරීමේදී තුවාල ලත් සැකකරු බිම වැටී සිටි අතර පසුව ඔහු රෝහල්ගත කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

පොලිසිය හා විශේෂ කාර්ය බලකාවය එක්ව අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.