Spread the love

මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස් දෙනු ලැබිය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ කුරිරු සහ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශන වල ප්‍රගතිය විමසා බැලීම සඳහා අමාත්‍යවරයා විසින් එම නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත කැඳවා තිබිණ.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, විශේෂ කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති ධනපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහාකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා සහ අමාත්‍යංශ සම්බන්ධීකරණ කොට්ඨාසයේ සහාකාර පොලිස් අධිකාරී සුමිත් ගුණරත්න ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන්ද රැසක් මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මිනිමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සමස්ත සමාජයටම බරක් වී ඇති බැවින් මෙම ව්‍යසනකාරී තත්ත්වය මර්ධනය කිරීම සඳහා ඊට අදාල පුද්ගලයින්ගේ තරාතිරම නොබලා එවැනි අපරාධකරුවන් සමාජයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කළේය.