Spread the love

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන සතු මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කිරීමට තීරණය කෙරේ. ඒ සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර එම ප්‍රදේශවලට ආවේනික භෝග වගාවන් සිදු කිරීමට ඒ අනුව පියවර ගැනේ. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නිවාස රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව පසුගිය සිකුරාදා (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදී පැවැත්විණ.
ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාල ආයතන සතු කිසිම ඉඩමක් හිස්ව නොතිබිය යුතු බවටයි. ආයෝජන සදහා ලබා දී ඇති ඉඩම් මෙතෙක් භාවිතා කර නොමැතිනම් එම ඉඩම් වහාම ආපසු පවරා ගන්නා ලෙසත්, අලුත් අයෝජකයන්ට ඒවා ලබා දීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. ආයෝජන සදහා ඉඩම් ලබා දිමේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.
රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කරඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යාවශ්‍ය දේවල් සදහා පමණක් අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කරන ලෙසටද උපදෙස් දුන්නේය..
මෙම සාකච්ඡාව සඳහා නිවාස රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති කෝමදෝරු හිරාන් බාලසූරිය මහත්වරු ඇතුලු නිලධාරී පිරිසක් සහභාගී වූහ.