Spread the love


නිමල් රාජප්කෂ-

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඉහළ ඉල්ලුමක් පවතින බැවින් කිතුල් පැණිවල ප්‍රමිතිය තහවුරු කිරීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙයි.

කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීය යුතු බවද පවසයි.

මේ වනවිට එම නීති හා රෙගුලාසි සැකසීමේ කටයුතු අවසන් කර ඇති අතර නොබෝ දිනකින් එම නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.

අප රටේ ඇති සමස්ත කිතුල් ගස් ප්‍රමාණය මිලියන 03කි. නමුත් ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සියයට 20ක් පමණි. ඉතිරි සියයට 80ක ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇත. කිතුල් කර්මාන්තකරුවන්ලේ ඉල්ලීම පරිදි වනජීවි හා වනසංරක්ෂණ කළාපවල ඇති කිතුල් ගස් මැඳීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට ඊට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙන අමාත්‍යවරයා වනජීවි හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිනි.

ඒ අනුව එකී කලාපවල ඇති කිතුල් ගස් මැඳීම සදහා අවසර ලබා දීමට වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු එකඟතාවය පළ කර තිබේ.

2023 වසරේ කිතුල් කර්මාන්තය සඳහා ලබා දුන් මුදල රුපියල් මිලියන 02ක් වුවද, 2024 වසර සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ලබා දී තිබේ.

එමෙන්ම කිතුල් කර්මාන්ත සංවර්ධනයට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය වැඩ සටහන හා ඒකාබද්ධව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.