Spread the love

ප්‍රභාකරන්ගේ උපන් දිනයටල කොඩිය රැගෙන විශාල පිරිසක් ගමන් කරන්නේ තම තම පවුල්වල අය සැමරීමට නොවන බව පැහැදිලියි’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාද අවස්ථාවේදී ටිරාන් අලස් මහතා මෙම අදහස් පල කලේය.

ත්‍රස්ත විමර්ෂණ පනත මේ රටේ බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරන පනතක් යන අදහස මම ප්‍රතික්ෂේප කරනවා. මේ සිදුවීම් පිලිබඳ අදහස් දක්වනවා නම් දිගටම ප්‍රකාශ වූයේ නව දෙනෙක් අත්අඩංගුවට ගත් බවක්. නමුත් ඇත්ත වශයෙන්ම එකොලොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහා විරු සමරුව සිදු නොකරන ලෙස උසාවි තුනකින් නියෝග ලබා දී තිබෙනවා. එමෙන්ම අභියාචනාධිකරණයට කෙනකු සිදු කළ පැමිණිල්ලකට අනුව, මෙවැනි සමරුවක් සිදු කළහොත් නිතිය ක්‍රියාත්මක කරන බවට නීතිපතිතුමා විසින් ප්‍රකාශ කර තිබුනා.

ඕනෑම කෙනෙකුට තමන්ගේ පවුලේ මියගිය කෙනෙකු සැමරීමේ අයිතියක් තිබෙනවා. අපිත් එවැනි දේවල් වලට සහභාගි වනවා. නමුත් අපි කිසිදු අවස්ථාවක වෙන කිසිවෙකුගේ උපන්දිනයක්‌ සැමරීමට තවත් කෙනෙකුගේ ස්මාරකයකට යන්නේ නැහැ.එවැනි තැනකට පක්ෂයක කොඩියක් රැගෙන යන්නේ නැහැ. මෙතැනදී පාවිච්චි කල කොඩිය යම් යම් පක්ෂ පාවිච්චි කළ කොඩියක් බව ප්‍රකාශ වුණා.නමුත් සාමාන්‍ය මනුෂ්‍යයෙකු තම මියගිය පවුලේ සාමාජිකයින් සිහිකිරීමට ස්මාරකයට කොඩිය රැගෙන යන බවක් මා දැක නැහැ.

ප්‍රභාකරන්ගේ උපන් දිනයට, කොඩිය රැගෙන විශාල පිරිසක් ගමන් කරන්නේ තම තම පවුල්වල අය සැමරීමට නොවන බව පැහැදිලියි. නැගෙනහිර නොවන සමහර තැන්වල ඇතැම් පිරිස් සැරසී සිටින ඇඳුම් දෙස බලන්න.මෙය ත්‍රස්තවාදයට සම්බන්ධ නැති බව හෝ එල්ටීටීඊ අදහස් වලට සම්බන්ධ නැති බව අප කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකියි.

මෙම යෝජනාව පිළිබඳ සියලු දෙනා දැක්වූ අදහස් මා ශ්‍රවණය කළා. එහිදී මතු වූ අදහස් පිළිබඳ මා පිළිතුරු ලබා දීමේදී සහ යම් ඡායාරූප පෙන්වීමේදී ඇතැම් මන්ත්‍රීවරුන් කලබලයට පත්ව ගැටළු මතු කිරීමට උත්සාහ කරනවා. අපි ඇත්ත තොරතුරු ප්‍රකාශ කරන විට සමහරුන්ට එය ඉවසා සිටීමට අපහසුයි. මෙවැනි දේවල් සිදුකිරීමට ඉඩ ලබා නොදීමට ඔබතුමන්ලාද කටයුතු කළ යුතුයි.

කෙනෙකු සැමරීම යනු එක් දෙයක්, කොඩි රැගෙන යෑම, ප්‍රභාකරන්ගේ රුව ඇතුලත් කේක්, කමිස රැගෙන යාම,මේ සියල්ල නතර කළ යුතුයි.එවැනි අවස්ථාවක පොලීසියටද නීත්‍යානුකූලව කටයුතු කළ යුතු වනවා. මා ප්‍රකාශ කරන ඇතැම් කරුණු දරාගැනීමට නොහැකි වන විට ඒ සඳහා බාධා කරනවා.

පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය ජනතාව පිළිකුල් කරන බව පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කළා. නමුත් එලෙස ප්‍රකාශ කරමින් ම මෙතුමන්ලා පොලිස් ආරක්ෂාව තබාගෙන සිටින බව ප්‍රකාශ කිරීමට සිදුවීම කණගාටුයි.

හෙට වුවත් නැවත මෙවැනි සිදුවීමක් සිදු වූවොත් පොලිසිය අත් අඩංගුවට ගැනීම් සිදු කරුණු ඇති. එය වැළැක්වීමට හැකියාවක් නැහැ. එමනිසා ප්‍රදේශවල මන්ත්‍රීවරුන් ලෙස පළාතේ ජනතාවට මෙවැනි දේ සිදු නොකරන ලෙස ඉල්ලා සිටින ලෙස ඔබතුමන්ලාගෙනුත් ඉල්ලීමක් කරනවා. මෙවැනි දේ සිදුවන විට පොලිසියට නිහඬව සිටිය නොහැකියි. අමාත්‍යවරුන් ලෙස අපටද නිහඬව සිටිය නොහැකියි.අදාල සිද්ධියට අනුව නීතියට අනුව කටයුතු කිරීමට සිදුවනවා.

කිසිදු අවස්ථාවක පොලිසිය විසින් අනුගමනය ක්‍රියාමාර්ග වැරදි ලෙස භාවිතා කර නැහැ. උසාවි නියෝග අනුව අත්අඩංගුවට ගත් පිරිස පැය 48ක් ඇතුළත උසාවියට ඉදිරිපත් කළා.රිමාන්ඩ් ගත කරනු ලැබුවේ ද උසාවිය මගින්. අවශ්‍ය නම් රඳවා ගැනීමේ නියෝග මත පොලිසියේ රඳවා ගැනීමට හැකියාව තිබුණත් අප එසේ සිදුකළේ නැහැ.

ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් කේක් ගෙඩියක් නිර්මාණය කිරීම පිළිබඳව අදාළ බේකරියේ හිමිකරු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් අප ලබාගෙන තිබෙනවා. මේ සියලු කරුණු අනුව අත්අඩංගුවට ගත් අය නිදහස් කිරීමේ හැකියාව පවතින්නේ අධිකරණයටයි. නැවතත් මෙවැනි සිදුවීම් ඇති වුවහොත් ඉදිරියේදිත් මෙවැනි ප්‍රශ්න ඇති වනු ඇති බව ප්‍රකාශ කිරීමට මා කැමැතියි.එම නිසා සෑම පාර්ශවයක්ම සුහදව සාකච්ඡාව තුළින් මෙවැනි ගැටලු නිරාකරණය කර ගත යුතුයි.