Spread the love

පලස්තීන ජනතාවගේ විමුක්තිය හා ස්වයංනීර්ණ අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව දිගින් දිගටම පෙනී සිටින බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාව දිගින් දිගටම ඔප්පු කළ බවත් පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීම් අනුමත නොකරන බවත් ඇමැතිවරයා පැවසීය.

අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පලස්තීන ජනතාවට එරෙහිව සිදුකරන සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ ප්‍රචණ්ඩකාරි වැඩපිළිවෙළ දැඩිව විවේචනයට ලක් කරන බව ද ඇමතිවරයා පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිය මතය ඉදිරිපත් කළ බව ද හෙතෙම පැවසීය. මෙවන් වූ කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා වෙත සිය ස්තූතිය පිරිනමන බවද ඇමැතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙසේ ද පැවසීය. කාලෝචිත හා වැදගත් මෙම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් ඉමිතියාස් බාකීර් මාකර් මහතාට මගේ ස්තූතිය පිරිනමනවා. අපි රජයක් වශයෙන්, ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් පලස්තීන විමුක්තිය සහ ඔවුන්ගේ ස්වයංනීර්ණ අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. ඒ බව අපි පසුගිය කාලය තුළ දිගින් දිගටම ඔප්පු කර ‌පෙන්වා තිබෙනවා. ඒ වගේම සියලුම ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩකාරි වැඩපිළිවෙළ දැඩිව විවේචනයට ලක් කරනවා. ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ මිත්‍රශීලි විදේශ ප්‍රතිප්තියක්. අපගේ ජනාධිපතිවරයා 2022 වසරේ නොවැම්බර් මාසයේදී මේ සම්බන්ධයෙන් වන පණිවුඩයක් පවා‌ ලබා දී තිබෙනවා. පලස්තීන ජනතාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපි රටක් ලෙස දැඩිව කම්පා වෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදීත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා. 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී.පලස්තීන ජනතාවගේ අයිතින් සුරක්ෂිත විය යුතුය යන මතය ශ්‍රී ලංකා රජය දරනවා.