Spread the love

දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් යල් පැන ගිය නීති රීති හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල “උරුමය” ජාතික වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බාධා මතුව ඇති බවයි.

එම ගැටළු හදුනාගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ ඉලක්කය සපුරාලීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා කියයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්තිමය හා තාක්ෂණික වශයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ගම්පහ දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ප්‍රාදේශිය ලේකම්වරු ගැටළු ඉදිරිපත් කරන ලදි.

“උරුමය” වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු 15,000ක් ලබා දීමට නියමිතය. එය කඩිනම් කරන ලෙසද ඇමතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.