සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනයේ පන්දු යවන අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ඔස්ට්‍රේලියා මාධ්‍ය චෝදනා එල්ල කර තිබුණි.
ආබාධයකින් පසුව නැවතත් ඉන්දීය කණ්ඩායමට එක්වූ ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ඊයේ දිනයේ ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුළු 5ක් දවාගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වුණි.
ජඩේජා ඊයේ පන්දු යවන අතරතුර ඔහු පන්දු යැවීම සඳහා භාවිත කරන අතේ දබරැඟිල්ලේ යම් දෙයක් ආලේප කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඒ පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් ඇතිවුණි.
එම වීඩියෝව පාදක කරගනිමින් ඔස්ට්‍රේලියා මාධ්‍ය විසින් රවීන්ද්‍ර ජඩේජා පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දැරූ බවට චෝදනා එල්ල කර තිබුණි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ශර්මා සහ රවීන්ද්‍ර ජඩේජා තරග තීරකවරයා හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදී ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි.
එහිදී ඔවුන් තරග තීරකවරයාට පවසා ඇත්තේ ජඩේජා සිය දබරැගිල්ලේ ආලේප කළේ වේදනා නාශක ආලේපනයක් බවය.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා කණ්ඩායම් කළමනාකාරිත්වය මෙම සිදුවීම සම්බන්ධයෙන් තරග තීරකවරයාට තවමත් කිසිඳු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවද වාර්තා වෙයි.
නමුත් ක්‍රිකට් නීතිවලට අනුව මෙවන් සිදුවීමක් ඇතිවූ අවස්ථාවක කිසිඳු පැමිණිල්ලක් නොමැතිව වුවත් තරග තීරකවරයාට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාව පවති.
ඊට හේතුව පිටියේ විනිසුරුවන්ගේ අවසරයකින් තොරව පන්දු යවන්නන්ට ඔවුන්ගේ අත්වල කිසිඳු දෙයක් ආලේප කළ නොහැකි බව ක්‍රිකට් නීතිවල සඳහන්වීමය.