Spread the love

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වන අතර ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට පිවිසීමට සැලසුම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.