Spread the love

ආණ්ඩුව විසින් දේපල මත පණවන බද්ද ( ධන බද්ද) 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ අතර මුදල් අමාත්‍යංශය විසින් එම බදු අයකිරීම ප්‍රථම නිවාසයෙන් නොව කුලියට ලබාදී ඇති නිවාස වලින් පමණක් අයකරන බව නිවේදනය කළද එය පිළිනොගන්නා බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණු නියෝජිතයන් පිරිසක් විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් තුළදී මෙම අදහස් පළවූ අතර ඔවුන් පවසා සිටියේ ඉදිරියේ පැමිණීමට ඇති ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ජනතාවට බොරු පතුරවන බවත් ඒවාට ජනතාව නොරැවටෙන ලෙසත්ය.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතාත්, එක්සත් ජනරජ පෙරමුණේ අරමුදල් ප්‍රවර්ධන සහ සාමාජික සුභසාධන නියෝජ්‍ය ලේකම් අමිල් ප්‍රියන්ත මහත්මා, මහජන සම්බන්ධීකාරක සනේෂ් නිමන්ත මහත්මා, ගම්පහ කාන්තා සම්බන්ධීකාරක වොරාජි සමරසිංහ මහත්මිය, මීරිගම සම්බන්ධීකාරක කුමාර ගජනායක මහත්මා, ගම්පහ දිස්ත්‍රික් ආගමික කටයුතු සම්බන්ධීකාරක දේවින්ද වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සාමාජික මහත්ම මහත්මීන් පිරිසක් සම්බන්ධ විය.

එහිදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නියමිත මෙම දේපල මත පණවන බද්ද පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී..

“2025 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 0.2% ක් අය කරන්න බලාපොරොත්තු වෙනවා මේ බද්ද මගින්. ඒ වගේම 2026 වෙනකොට 0.4% ක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා මේ බද්ද මගින්. 0.4% ක් කියන්නේ රුපියල් බිලියන 48 ක්. රුපියල් බිලියන 48 ක් කියන්නේ කෝටි 4,800 ක්. 2021 සංඛ්‍යා ලේඛන අනුව නිවාස තියෙන්නේ ලක්ෂ 51 යි. ඒ පනස් එක් ලක්ෂයෙන්ම බදු අය කරනවා කියලා ගත්තත් එක නිවාසයකින් රුපියල් 9,500 ක් වසරකට අය කරන්න වෙනවා. මං හිතන්නේ නිවාස දෙකක් අයිති එක නිවාසයක් කුලියට දීලා තියෙන නිවෙස් ටික ලංකාවේ ලක්ෂයක්වත් නැතුව ඇති. එහෙමනම් ඒ නිවාස එකෙන් රුපියල් ලක්ෂයකටත් වඩා ලොකු මුදලක් අය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කියන සංඛ්‍යා ලේඛන ගණන් හදලා බැලුවහම මේ මුදල් අමාත්‍යංශය මගින් කියන කතාව වගේම ජනාධිපතිවරයා කියන කතාව පිළිගන්න බෑ.”

එමෙන්ම 2025 වනවිට රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් දක්වා වර්ධනය කර නොගතහොත් නැවතත් ආර්ථික අර්බුදයක් පැමිණිය හැකි බවට මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කරමින් ජනතාව බියගන්නවා මෙම බදු ජනතාවගේ කරමත පැටවීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත් එම නිසාවෙන් මෙම බදු අයකිරීමට ජනතාව විරුද්ධ වන ලෙස සුමේද රත්නායක මහතා ඉල්ලා සිටී.

“රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ බදු අය කරන්නේ සාමාන්‍ය ජනතාවගෙන්. අපි කියන්නේ නැහැ බදු එකතු කරන්න එපා කියලා. නමුත් රජය හරිම සරලව මුළු බදු බර, සාමාන්‍ය ජනතාවට පැටවීම තමයි කරන්නේ. මේ වෙනකොට බදු පොලු තියෙනවා, රුපියල් බිලියන 1000 ක් විතර. ඒ බදු පොලු අය කරගන්න පුළුවන්. නමුත් ඒවා ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඊළඟට අර මල්වානේ නිවසක් තියෙනවා. ඒ නිවස අපි දන්නවා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන උන් හදපු නිවසක්. මේ දේපල පවරා දෙන්න පුළුවන්. ලෝකය පුරාමත් තියෙනවා මේ හොරකම් කරගෙන ගිහිල්ලා ආයෝජනය කරපු සල්ලි. මේ මුදල් ආපහු ගෙනැල්ලා පුළුවන් මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. ඒ නිසා අපි රජයට කියනවා මේ ජනතාව මත බදු බර පැටවීම නවත්තන්න. අපි ඒකට විරුද්ධයි.”

එමෙන්ම මම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වූ එක්සත් ජනරජ පෙරමුණේ අරමුදල් ප්‍රවර්ධන සහ සාමාජික සුභසාධන නියෝජ්‍ය ලේකම් අමිල් ප්‍රියන්ත මහත්මා ආණ්ඩුව රටේ ජනතාවට විහිළු නොකර සිටින ලෙසත්, ක්‍රමවත්ව බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න ලෙස හා මේ බදු පනත වහාම හකුලා ගන්නා ලෙසත් ආණ්ඩුවට අවධාරණය කරන ලදී.

“මේ යෝජිත බදු ප්‍රතිපත්තිය හරහා අපේ සියලූම රටේ සෑම පුරවැසියෙකුටම විශාල අගතියක් නැත්නම් විශාල හානියක් වීමට නියමිතයි. රටේ වෘත්තිකයෝ අද වෙද්දිත් විශාල ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා ඉවරයි. රටේ විශාල කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගොස් තියෙනවා. මේ තියෙන බදු වලට උඩින් තවත් බදු ක්‍රියාත්මක කිරීම හරහා සිද්ධ වෙන්නේ මේ රටේ ඉන්න අනෙකුත් සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ඒ වගේම වෘත්තිකයන් තවදුරටත් මේ රට අතහැර යාමේ ප්‍රවණතාවය වැඩි වීමයි. ඒ නිසා, අපි කරුණාකරලා ඉල්ලා සිටින්නේ විහිළු කරන්න එපා ජනතාවත් එක්ක. අපිට මේ ක්‍රමවත්ව, බදු එකතු කරගැනීමේ ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්. එම නිසා මේ පනවන්න හදන බදු පනත වහාම අකුල ගන්න”

එමෙන්ම ගම්පහ කාන්තා සම්බන්ධීකාරක වොරාජි සමරසිංහ මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ මෙම බදු ප්‍රතිපත්තිය යටතේ නිවසේ සිටින කාන්තාව මහත් අපහසුතාවයකට පත්ව ඇති බවයි.