Spread the love

මෙතෙක් අය වී නැති නිවාස ණය අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට උපදෙස් දෙයි.

පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ ඊළඟ රැස්වීමට එම වැඩපිළීවෙල ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා ඊයේ (22) එම නිළධාරීන්ට උපදෙස් දෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) රැස් වූ අවස්ථාවේ දී ඇමතිවරයා කියා සිටියේ අධිකාරියෙන් අඩු පොළියට නිවාස ණය ලබාගත් ඇතැමුන් ඒවා නිවාස ඉදිකිරීමට භාවිතා කර නොමැති බවයි. බොහෝ නිවාස ණය වලින් ලබා දී ඇත්තේ පළමු වාරිකය පමණක් බවත් මේ නිසා බොහෝ ගැටලු මතුව ඇති බවත් පෙන්වා දුන් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබා ගත යුතු බව ද කීවේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මෙහිදී සඳහන් කළේ 2015 -2019 කාලයේ දී මෙලෙස ආධාර ලබාදුන් නිවාස 92,386 ක් තවමත් සම්පූර්ණ කිරීමට ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල රුපියල් මිලියන 24,380කි. නිවාස ආධාර මුදල සම්පූර්ණයෙන් ලබා නොදීම නිසා ඔවුන්ගෙන් වාරික අය කර ගැනීමේ ගැටලු පවතින බව ද සභාපතිවරයා කීවේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මේ දක්වා ලබාදී ඇති ණය මුදලින් තවත් රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් අය කර ගැනීමට ඇතැයි ද සභාපතිවරයා කීවේය.