Spread the love

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය විභාග කලාපයට අයත් විභාග මධ්‍යස්ථානයකදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අපේක්ෂකයකුගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා දුන් සහකාර ශාලාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ඊයේ (16) පැවසීය.

අදාළ සහකාර ශාලාධිපතිවරයා විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට ඊයේ (16) කැඳවූ බවද ඒ මහතා කීවේය.

මෙම විදුහල විභාග මධ්‍යස්ථානයක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූවකි.

පහ වසර ශිෂ්‍යත්වය විභාගය පැවැති පෙරේදා ( 15) දිනයේ මෙම විභාග මධ්‍යස්ථානයේදී සහකාර ශාලාධිපතිවරයකු විසින් අපේක්ෂකයකු වෙනුවෙන් දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇතැයි හෙළිවිණි.

මෙම මධ්‍යස්ථානයේ දෙවැනි ශාලාව තුළ රැඳී සිටි සහකාර ශාලාධිපතිවරයකු ලෙසට කටයුතු කර ඇති දැනට දුෂ්කර ප්‍රදේශයක පාසලක විදුහල්පතිවරයකු මෙම අක්‍රමිකතාවට සම්බන්ධ බවට අධ්‍යාපන අංශයෙන්ම තොරතුරු හෙළිවුණි.

සිද්ධිය දැනගත් සැණින් අධ්‍යාපන බලධාරින් එහි ගොස් පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, ඒ සම්බන්ධව තවමත් පුළුල් පරීක්ෂණ නිම වී නැති අතර එහි සේවයේ නියුතු ශාලාධිපතිවරයා හා සිද්ධියට සම්බන්ධ සහකාර ශාලාධිපතිවරයා විභාග කොමසාරිස්වරයාගේ නියමය පරිදි විභාග දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

විභාග ශාලාවක ඉතිරි වෙන ප්‍රශ්න පත්‍ර ටික ඒ මොහොතේම නිල මුද්‍රාව තබා ආරක්ෂිතව තැබීම ශාලාධිපතිවරයාගේ වගකීමකි. එහෙත් මෙම සහකාර ශාලාධිපතිවරයා ඒ වෙනුවට දෙවැනි ප්‍රශ්න පත්‍රයක් අත තබාගෙන රහසිගතව එයට පිළිතුරු ලියා ඇත.

එහෙත් එම පිළිතුරු ලියූ උත්තර පත්‍රය, අදාළ සිසුවාට දීමට මත්තෙන් ඇති වූ සැකයක් මත කලබලය හමුවේ වෙනත් සිසුවෙකුගේ මේසය මත තබා ඔහු එතැනින් ඉවත් වී තිබේ. ඒ සැණින් ශාලාවේ සිටි නිරීක්ෂකයකු එම සිසුවා අසල උත්තර පත්‍රයක් තිබෙනු දැක එය තමා භාරයට ගැනීමෙන් සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමට හැකි වූ බව එම අධ්‍යාපන අංශයේ නිලධාරීහු පැවසුහ.

ඒ අවස්ථාවේදීම අධ්‍යාපන බලධාරින් එහි ගොස් සිද්ධිය සොයා බලා ඇත. මෙම තැනැත්තා පිළිතුරු සපයා ඇති උත්තර පත්‍රය ඔහු ඉලක්ක කර ඇතැයි සිතන සිසුවාට භාරදීමට නොහැකි වී ඇති බවත්, ඉන් විභාග මධ්‍යස්ථානයට කැළලක් වුවා හැරෙන්නට කිසිදු සිසුවකුට අගතියක් සිදු වී නැති බවත් අධ්‍යාපන අංශයේ නිලධාරිහු වැඩිදුරටත් අවධාරණය කළහ.