Spread the love


නිසි සැලසුමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති කිරීමෙන් මහජන මුදල් අපතේ යන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වර්තමානයේදී ඉඳිකිරීම් කේෂ්ත්‍රයේ කඩා වැටීමට එවැනි අන්තනෝමතික ක්‍රියා දැඩිව බලපා තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අයවැය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ නිළධාරීන් සමඟ අද (30) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීවේය.
රටේ තිබුණ ප්‍රශ්න යම්තාක් දුරකට කළමනාකරණය කරගනිමින් ආණ්ඩුව යන්තම් ඔළුව උස්සගෙන එනවා. ජනතාවට සහන දීල ආර්ථිකය ස්ථාවර කරගන්න ඕන නිසා සංවර්ධන කටයුතු අලුතින් ආරම්භ කිරීම තාවකාලිකව නතර කරන්න ආණ්ඩුව තීරණය කළා. මෙවර අයවැයෙන් මූලික අවධානය යොමුකරල තියෙන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා ආර්ථිකය ශක්තිමත් කරන්නයි. හැබැයි අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති අපි කරගෙන යනවා.
ඒ සඳහා ඇතැම්විට පුද්ගලික අංශයත් සම්බන්ධ කරගන්න සිදුවෙනවා.
මෙවර අයවැයෙන් නාගරික හා නිවාස අමාත්‍යංශයට වෙන්වන මුදල නිසිපරිදි කළමණාකරනය කරගන්න අපි දැනගන්න ඕන.
ඒ නිසා රාජ්‍ය ආයතන අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර රටේ තත්ත්වය සම්බන්ධයෙන් වගේම එම ව්‍යාපෘතිය කොතරම් දුරට අත්‍යාවශ්‍යද යන්න පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතුයි.
එහෙම නොවුනොත් මේ අමාත්‍යංශවල හිටපු අය වගේ අපිත් අමාරුවෙ වැටෙනවා.
පහුගිය කාලේ මේ අමාත්‍යංශය භාරව හිටපු අනාගතයේදී රට බාරගන්න ඉන්න නායකයෝ හිතුමතේ වැඩ කරපු නිසා මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න වෙලා තියෙන්නේ මටයි. මිනිස්සුන්ගෙ ඒ පීඩනයත් දරාගෙනයි මට වැඩ කරන්න වෙලා තියෙන්නෙ.
රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති බොහෝමයක් ක්‍රියාත්මක වෙන්නේ මේ අමාත්‍යංශයෙන්. ජනාධිපතිතුමත් මේ අමාත්‍යංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්නවා. ඒ නිසා හැමදේම ඉතාම පිළිවෙලට ක්‍රමානුකූලව සිද්ධ වෙන්න ඕන.
ඒ වගේම ආයතනවල පුරප්පාඩු සඳහා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්ම වෙනත් ආයතනවල ඉන්න සුදුසුකම් ඇති අතිරික්ත පිරිස් බඳවා ගන්න.
නිකරුනේ සේවකයින් බඳවගෙන ආයතන ඔළුගෙඩිවලින් පුරවල වැඩක් නැහැ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.