Spread the love

අවුරුදු චාරිත්‍ර පිළිබඳව පැන නැගී ඇති ගැටළු සහගත තත්වය නිරාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අවුරුදු චාරිත්‍ර වලින් ජනතාව ඈත් වීමේ අවධානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

සිංහල අළුත් අවුරුද්දට තව තිබෙන්නේ සතියකටත් අඩු කාලයක්. නමුත් අවුරුදු චාරිත්‍ර කරන නැකැත් පිළිබඳ ආරවුල විසඳන්න තවමත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නැකැත් දෝෂ සහිත බවට ජාතික නැකැත් කමිටුව කියනවා. ජාතික නැකැත් කමිටුව සැකසූ නැකැත් දෝෂ සහිත බවට රාජ්‍ය නැකැත් කමිටුව කියනවා. දැන් එතකොට අපි අනුගමනය කරන්න ඕනි මොන නැකැත්ද? දෙපාර්ශවයටම සවන් දුන්නු ජනතාවට හිතෙන්නේ මොන නැකැත අනුගමනය කලත් දෝෂ සහිත නිසා නැකැතට කරන චාරිත්‍ර නොකර සිටියා නම් හොඳයි වගේ හැඟීමක්. නැකැත් කියන්නේ බොරුයි කියන හැඟීමක්. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ අවුරුදු චාරිත්‍ර වලින් ජනතාව ඈත් වීමයි. මේ නැකැත් පිළිබද ඇතිවී ඇති ගැටුම විසදීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි.

අවුරුදු දාට මේ රටේ ජනගහනයෙන් 85%ක් විතර එකම මොහොතේ ආහාර අනුභව කරනවා. ඒක ලෝකයේ වෙන රටවල දකින්නට නැති සුවිශේෂී තත්වයක්. සාමුහිකත්වය පිළිබිඹු කරන්න ඊටත් වඩා හොඳ නිදසුනක් ලෝකයේ තවත් තිබෙනවාද ? ඒ වගේම පසුගිය වසර තුල අමනාප වුණු ගෙයක් තිබෙනවා නම් ඒ ගෙදරට අවුරුදු දා කැවිලි පිගානක් යැව්වාම තරහ මරහ අවසන් වෙනවා. වැඩිහිටි ඥාතින් සමග තරහ වෙලා හිටියොත් බුලත් හුරුල්ලක් අරන් ගිහින් වැඩිහිටියාට වැන්ඳාම අර තරහ ඔක්කොම එතැනින් ඉවරයි. අවුරුදු කියන්නේ වසරකට වරක් අනවශ්‍ය බඩු බැහැර කරලා ගෙවල් පිරිසිදු කරන දිනයක් විතරක් නොවේ. අමනාප කම් බැහැර කරලා සිත පිරිසිදු කරන දිනයක්. වසර දහස් ගණනක් අප රැකගෙන ආපු අපේ චාරිත්‍රවාරිත්‍ර අවසන් කෙරෙන නැතිනම් මේ උතුම් සංස්කෘතිය මරා දැමෙන වසර විධියට 2024 ඉතිහාසයට එකතු වීමේ අවධානමක් මතුවී තිබෙනවා. එය වැලැක්වීම ආණ්ඩුවේ වගකීමක්.

ගරු සංස්කෘතික ඇමතිතුමනි, මේ නැකැත් ගැටුම නොඇසුනා සේ ඉන්න එපා. ඔබේ නිහඬතාවයෙන් විනාශ වෙන්නේ අපේ උරුමයයි. විද්වත් කමිටුවක් පත් කරලා දෙපාර්ශවයටම සවන් දෙන්න. පිලිගන්නේ මොන නැකත ද කියන එකත් ඒකට හේතුත් වහාම ප්‍රසිද්ධ කරලා මේ ගැටුම අවසන් කරන්න. එවිට ඉතිහාසයේ කලා වගේ මුළු රටම එකම නැකතකට ලිපගිනි මෙලවීම අහර පිසීම වැනි චාරිත්‍ර ඉටු කරාවි. එහෙම නොකලොත් සිංහල අවුරුදු චාරිත්‍ර ඉතිහාසයෙන් මකා දැමීමේ වගකීම ගරු සංස්කෘතික ඇමතිතුමාගේ කර මතට වැටීම කිසිවෙකුට නතර කරන්න බෑ.