Spread the love

ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් ප්‍රමාද වී ඇති නව සබදතා 36000 ක් පමණ සති 6ක කාලයක් තුළ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

පැවති මූල්‍ය ගැටලු නිසා නව සබඳතා ලබා දීම සදහා උපකරණ හිඟයක් පැවති බවත් පසුගියදා විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගැනීමත් සමග මණ්ඩලයේ මූල්‍ය අංශය ශක්තිමත් වීම තුළ නව සබදතා ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නව සබදතා ලබා ගැනීම සදහා විශාල පිරිසක් ලියාපදිංචි වී සිටියද සබඳතා ලබාදීමේ විශාල ප්‍රමාදයක් පවතින බවට මන්ත්‍රීවරුන් කාරක සභාවේදී කරුණු මතුකළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

එසේම ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.

QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ ද සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රු. මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම මෙම ආයතනවලට අලුතින් සේවක බදවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක් අවම කරගැනීමට කටයුතුකර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම ස්මාට් මනුකියවීම (Smart metering) කඩිනමින් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා මෙහි නියමු ව්‍යාපෘතිය දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද පැවසීය.

එය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක බවත් පාරිභෝගිකයන් 31000කට ස්මාට් බිල්පත් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ඉදිරියේදී මනුකියවීමෙන් තොරව ඉලෙක්ට්‍රොනික බිල්පත් හා එස්.එම්.එස් මගින් පාරිභෝගිකයාට බිල්පත ලැ‍බීමට නියමිතය.

එසේම මෙම කාරක සභාවේදී 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද අංක 2313/47 සහ අංක 2313/47 දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග සදහා ද අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, නාලක බණ්ඩාර කෝට්ටගොඩ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද අමාත්‍යාංශයට යටතේ පවතින ආයතනවල නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.