Spread the love

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකයක් නොමැති නම් 2025 වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් නොකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම ගැටලු සහගත බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සුරාබදු ආඥා පනත හෝ ඒ යටතේ සාදන ලද නීති සහ රෙගුලාසි අනුව දැනට පවතින (ප්‍රවර්ථන) බලපත්‍රයක් අලුත් කිරීමේදී හෝ නව බලපත්‍රයක් ලබාදීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකයක් ලබාගත යුතු බවට වූ නියමයක් මොනයම් හෝ ස්ථානයක සඳහන්ව නොමැති බවයි.

එසේම දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරිවලට බාධා වන අයුරින් සහ ඉහළ නිලධාරීන් ලවා ඔහුට බලපෑම් කරමින් ලබාදෙන්නේ නිෂ්කාශන සහතිකයක්ද යන්න පවා ගැටලුවක් වී ඇති අතර මෙතෙක් කල් බදු වංචාකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සමග එක්ව නොයෙක් අක්‍රමිකතා සිදුකරමින් ව්‍යාජ නිෂ්කාශන සහතික උපයෝගී කරගෙන මත්පැන් බලපත්‍ර අලුත් කිරීම ඉතාම පහසුවෙන් කරගෙන ඇති බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පෙන්වා දී ඇත.

ඒ අනුව 2025 වසර සඳහා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින නීතිමය තත්වය යටතේ සහ අභියාචනාධිකරණය ලබාදී ඇති නියෝගවලට අනුව කටයුතු නොකරන්නේ නම් මෙම ක්‍රියාවලියට බලපෑම් කරන සියලුම නිලධාරීන්ට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමටත් ඒ සඳහා වන්දි අයකර ගැනීමටත් සිදුවන බව එම සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත.

මෙම තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.