Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාවට මත්ස්‍ය ආනයනය කිරිමෙද් අතර මැදියන්ගේ පමණක් නොව ඇතම් නිලධාරීන්ගේ ද නිරුවත හෙළිවනු ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවුලපිටිය “දූනගහ” ධීවර සංස්ථාවට අයත් නව මත්ස්‍ය වෙළඳසැල මහජන අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව ඔක්තෝබර් මස 27 වන දින දූනගහ, දිවුලපිටිය – මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාතික පාසල ඉදිරිපිට දී විවෘත කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ සෑම ක්ෂේත්‍රයකම මෙන්ම ධීවර ක්ෂේත්‍රයේ ද අතරමැදියන් දැවැන්ත මාෆියාවක් නඩත්තු කරන බවයි. ඒ සඳහා දීර්ඝ කාලයක සිට ආයතන අභ්‍යන්තරයේ ඇතැමුන්ගේ ද සහය ලැබී තිබේ. දැනට තාවකාලික පදනම මත ධීවර සංස්ථාව ආනයන කරන තලපත් මාළු සම්බන්ධව ද දීර්ඝ කාලය සිට මෙම වංචා සහගත ඒකාධිකාරිය පත්වා ගෙන යෑමට අතරමැදියන් සමඟ එක්ව පිරිසක් කටයුතු කර ඇති බවයි. ඒ අනුව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කලේ අභියෝගාත්මක නමුත් දුෂ්කර තීරණ ගනිමින් ධීවර සංස්ථාවත් , ධීවරයාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමට සිදුව ඇති බවයි.

මහජන අයිතියට පත්කෙරුනු “දූනගහ” නවීන මත්ස්‍ය වෙළඳසැල හරහා පාරිභෝගික ජනතාවට ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව උම්බලකඩ ඇතුළු මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනීමට අවකාශ සලසා දී තිබේ.